දේශීය පුවත්
අන්තර්ජාල ණය වංචා වලට අහු වෙන්න එපා – ශ්‍රී ලංකා පොලීසිය
අන්තර්ජාලය හා ජංගම දුරකථන මගින් “ක්ෂණික ණය” ලබාදෙන බව පෙන්වා පාරිභෝගිකයන් ආකර්ෂණය කරන අවිධිමත් ආයතන සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ශ්‍රී ලංකා පොලීසිය අවධාරණය කරයි. පොලීසිය පවසන පරිදි, මෙම ආයතන බොහෝ විට කිසිදු ඇපයකින් තොරව ණය ලබාදෙන බව පෙන්වා ජනතාවට වංචා කිරීමට කටයුතු කරයි. ණය ලබාගන්නා පුද්ගලයින් පොලී අනුපාතය හා කාලසීමාව පිළිබඳ අවධානය යොමු නොකිරීම නිසා පසුව අධික පොලී ගෙවීමට සිදුවෙමින් ඇත.
ඒ මෙන්ම ණය මුදල් නැවත අය කිරීමේදී මෙම ආයතන ණය හිමියන්ට පීඩනයක් ඇතිකරන අයුරින් ඇමතුම් ලබාදීමත්, සමාජ මාධ්‍ය ඔස්සේ අපහාසජනක ප්‍රචාර කිරීමත්, පෞද්ගලික තොරතුරු බෙදාහැරීමත් සිදුකරන බව පොලීසියට පැමිණිලි ලැබී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මුල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ, මෙවැනි ආයතන බොහෝ දෙනා මහ බැංකුවේ නියාමනය යටතේ නොමැති බවයි. ඒ අනුව, පොලීසිය ජනතාවට අවවාද කරන්නේ ණය ලබා ගැනීමේදී හෝ මූල්‍ය සේවා භාවිතයේදී සෑම විටම ශ්‍රී ලංකා මහ බැංකුවේ නියාමනය යටතේ ක්‍රියාත්මක විශ්වාසනීය ආයතන වෙත පමණක් යොමු වන ලෙසය.
