දේශීය පුවත්
අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොවේ – අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය
මහනුවර මහමායා බාලිකා විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය පසුගියදා (28) කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රිස්වි සාලි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
මෙහිදී අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය පෙන්වා දුන්නේ අධ්‍යාපනය යනු විභාග සමත්වීම පමණක් නොව, ලෝකය යහපත් තැනක් බවට පත් කිරීම සඳහා දායක විය හැකි සමාජ දක්ෂ පුරවැසියන් බිහි කිරීම බවය. ඒ සඳහා අධ්‍යාපන ක්‍රමය ක්‍රමිකව යාවත්කාලීන කරමින් සිසුන්ට අධික බරක් නොවන පරිදි වෙනස්කම් සිදු කරමින් සිටින බවද ඇය අවධාරණය කළාය.
අග්‍රාමාත්‍යවරිය වෙත ශිෂ්‍යාවන්ට තම ගැටලු හා අදහස් ඍජුව ඉදිරිපත් කිරීමට අවස්ථාව හිමිවීය.
මෙහිදී නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සඳහන් කළේ, නීතිගරුක නොවන පුද්ගලයෙකුට කිසිවිටෙකත් නීති සම්පාදකයෙකු විය නොහැකි බවත්, නීතිගරුක සමාජයක් බිහි කිරීම සඳහා සියලු දෙනා කැපවිය යුතු බවත්ය.
පාර්ලිමේන්තු වැඩබලන මහලේකම් චමින්ද කුලරත්න මහතා පාර්ලිමේන්තුවේ කාර්යයන් හා කාන්තා නියෝජනය පිළිබඳව ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන් දැනුවත් කළ අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ මහාචාර්ය ඒ. සර්වේස්වරන් මහතා නීතිය පිළිබඳ විශේෂ දේශනයක් ඉදිරිපත් කළේය.
එසේම ජනාධිපති ලේකම් කාර්යාලයේ මහජන සබඳතා අධ්‍යක්ෂ ජනරාල් ධර්මසිරි ගමගේ සහ ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් සුභාෂ් රෝෂණ ගමගේ යන මහත්වරුන් ජනාධිපති අරමුදලේ ප්‍රතිලාභ හා “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන පිළිබඳව දැනුවත් කිරීම සිදු කළහ.
ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ මංගල සභාවාරය සමඟ කථානායකවරයා පත් කිරීම, මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සහ අග්‍රාමාත්‍යවරියගේ සහ අමාත්‍යවරුන්ගේ අදහස් දැක්වීම් සිදු වූ අතර අනතුරුව සභාව කල් තැබිනි.
අවසානයේදී ශිෂ්‍ය පාර්ලිමේන්තු සභිකයන්ට සහභාගීත්වය වෙනුවෙන් සහතික පත්‍ර පිරිනැමුණි. මෙම අවස්ථාවට විදුහල්පතිනි ශෂිකලා සේනාධීර මහත්මිය, පාසල් ආචාර්ය මණ්ඩලය, දෙමාපියන් සහ ආරාධිතයන් පිරිසක් ද සහභාගී විය.
