සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හුංගම ද්විත්ව ඝාතනයට සම්බන්ධ පස් දෙනෙකු අත්අඩංගුවට

හුංගම වාඩිගල ප්‍රදේශයේ නිවසකදී සිදුකළ ද්විත්ව ඝාතනයකට සම්බන්ධව ප්‍රධාන සැකකරු “අදුපැලෑන බිංදු” ඇතුළු පුද්ගලයින් පස් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් පරීක්ෂණ වලින් අනාවරණ වී ඇත්තේ, මෙම ඝාතනය මත්ද්‍රව්‍ය සම්බන්ධ ආරවුලක් හා අනියම් සබඳතාවක් හේතුකොටගෙන සිදුකර ඇති බවයි.

අඟහරුවාදා (7) අලුයම මුහුණු ආවරණය කරගත් පිරිසක් විසින් මෙම ප්‍රහාරය සිදුකර ඇති අතර, ඔවුන් තියුණු ආයුධ භාවිත කරමින් මිතුරෙකුගේ නිවසක රැඳී සිටි යුවළට පහර දී ඝාතනය කර තිබේ.

මෙහිදී මියගොස් ඇත්තේ 28 හැවිරිදි ඉමේෂා මධුභාෂිනී සහ ඇයගේ අනියම් පුරුෂයා ලෙස හැඳින්වෙන ‘බෝපසිඳු’ නම් පසිඳු හේෂාන් යන පුද්ගලයෙකි. ඔවුන් තිස්සමහාරාමය සහ රන්න ප්‍රදේශවල පදිංචිකරුවන් බව හෙළිවී ඇත.

පරීක්ෂණ වලින් තවදුරටත් හෙළිවී ඇත්තේ, ප්‍රධාන සැකකරු ‘අදුපැලෑන බිංදු’ සහ මියගිය ‘බෝපසිඳු’ කලකට පෙර හොඳම මිතුරන් වූ බවයි.

‘බෝපසිඳු’ මීට පෙර මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා මත අත්අඩංගුවට පත් වී තිබූ අතර, පසුගිය වසරේ ඔහු සමඟ ධීවර රැකියාවේ නිරතවූ යාත්‍රා ප්‍රධානියා ඝාතනය කළේද ඔහු බවට චෝදනා ලැබී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් හුංගම පොලිසිය සහ තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක කරමින් සිටියි.

Tags