සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

හරක් කටා CID යට උදව් කළා – දේශබන්දු තෙන්නකෝන්

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන හරක් කටා සම්බන්ධ පරීක්ෂණවලදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපේක්ෂිත අරමුණ ඉටු නොවන බව වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසනවා.

පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ ඊයේ (23) නවවන දිනටත් පාර්ලිමේන්තුවේ දී රැස්වුණා.

එහි ඇතැම් නිලධාරීන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට නොගන්නා බව අවබෝධ වූ හෙයින් පරීක්ෂණ කොළඹ අපරාධ කොට්ඨාසයට බාර දුන් බවද ඔහු මෙහිදී ප්‍රකාශ කළා.

දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ එස්. වීරවික්‍රම මහතා තෙන්නකෝන් මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම ආරම්භ කරනු ලැබුවා.

වීරවික්‍රම මහතා:

ඔබ පොලිස්පතිවරයා ලෙස සිටි සමයේ ක්‍රියාත්මක කළ යුක්තිය මෙහෙයුම කාගේ තීරණයක්ද?

දේශබන්දු තෙන්නකොන් මහතා ;

”ස්වාමීනි, එවක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මට කැඳවීමක් කළා. කැඳවලා ඔහු මගෙන් ඇහුවා ඔබට පොලිස්පතිධුරය දුන්නොත් කුඩු නැති කරන්න මොකක්ද කරන්නෙ කියලා. මම මග‍ෙ අදහස කිව්වා. ඒ සාකච්ඡාවට එවක හිටපු මහජන ආරක්ෂක අමාත්‍යවරයාත් සහභාගී වෙලා සිටියා. ස්වාමීනි, එවක හරක් කටා කියන්නේ නම ගියපු අපරාධකාරයෙක්. මොහු පෞද්ගලික ජෙට් යානා භාවිත කර රටින් රටටත් යනවා. ඔහුගේ අනුගාමිකයින් විශාල පිරිසක් මෙරට තුළත් ඉන්නවා. ඒ අනුගාමිකයින් යොදවලා ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාව තුළ කරගෙන යනවා. ස්වාමීනි, අපි හරක් කටා අත්අඩංගුවට අරගෙන ලංකාවට ගෙන එද්දී අපිට විශාල බලපෑමක් ආවා ඔහු මෙරටට ගේන්න එපා කියලා. ඔහු විශාල ලෙස ගුවන් යානය තුළ කලබල කළා. ඔහු ගුවන් යානයෙන් පනින්නත් ගියා. ඒක නිසා ඔහුගේ ඒ හැසිරීම නිසා අපිට ඔහු ගෙන එද්දී ඉන්දියාවෙත් යානය ගොඩ බස්සවන්නත් සිද්ධ වුණා. හරක් කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටියා. හැබැයි ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම කිසිදු අඩුපාඩුවක් නැතුව එලෙසම ක්‍රියාත්මක වුණා. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඔහුට සැඟවුණු ආශිර්වාදයක් ලැබුණු බව පෙනී ගියා.”

නීතිඥ වීරවික්‍රම මහතා

2023 වසරේ නොවැම්බර් 30 වැනිදා වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත්වූ පසු හරක් කටා සම්බන්ධයෙන් විමර්ශන කළාද

දේශබන්දු තෙන්නකෝන් මහතා :

”ඔව් ස්වාමීනී.. ඔහුගේ ගෝල බාලයින් සම්බන්ධයෙන් සෙවීමට ජංගම දුරකථන අංක 3ක් ඔස්සේ විමර්ශන පවත්වලා තිබුණා. ඔහු සමග දුරකථනයෙන් සම්බන්ධ වූ පුද්ගලයින්ගේ නම් තමයි එහි තිබුුණේ. එම ලැයිස්තුව මම අදාළ නිලධාරීන්ගෙන් ගත්තා. එය මට දුන්නේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් මහතා. ඔහු ඇතුළු කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු වැඩබලන අධ්‍යක්ෂ නෙවිල් ද සිල්වා ඇතුළු පිරිසක් එම අවස්ථාවේදී සාකච්ඡාවකට පැමිණියා. එහිදී තමයි මට අදාළ ලැයිස්තුව දුන්නේ.

නීතීඥ වීරවික්‍රම මහතා

එම සාකච්ඡාව රහස් සාකච්ඡාවක් ද නැතිනම් නීත්‍යනුකූල සාකච්ඡාවක්ද

දේශබන්දු තෙන්නකෝන් මහතා :

රාජකාරී වේලාව තුළ කැඳවූ නීත්‍යානුකූල සාකච්ඡාවක් එම සාකච්ඡාවේදී තමාට 149 දෙනෙකුගේ නම් සහ දුරකථන අංක ඇතුළත් ලැයිස්තුවක් ත්‍රස්ත විමර්ශන අංශයේ හිටපු අධ්‍යක්ෂ ප්‍රසන්න අල්විස් ලබා දුන්නා

නීතීඥ වීරවික්‍රම මහතා :

අදාළ නම් ඇතුළත් ලැයිස්තුවට කුමක් කළේ ද

දේශබන්දු තෙන්නකෝන් මහතා :

”ස්වාමීනි, මම එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට වාචිකව උපදෙස් දුන්නා. මෙම ලැයිස්තුව සම්බන්ධයෙන් විමර්ශනය කරලා නීතිමය කටයුතු කරන්න කියලා.

නීතීඥ වීරවික්‍රම මහතා

ඇයි එය අපරාධ පරීක්ෂණ දෙපාරතමේන්තුවට භාර දෙන්නේ නැතුව කොළඹ අපරාධ කොට්ඨාසයට භාර දුන්නේ?

දේශබන්දු තෙන්නකෝන් මහතා :

”ස්වාමීනි, එවකට සීඅයිඩි එකේ හිටපු ලොකු ලොකු අයට හරක් කටාගේ මුදල් යනවා කියලා ප්‍රචාරයක් තිබුණා. ඔවුන් හරක් කටාගේ අනුගාමිකයින් අත්අඩංගුවට ගත්තෙ නැහැ. ඔවුන්ට අත්අඩංගුවට ගන්න බැරිවුණා. සීඅයිඩි එකට දීලා අපේක්ෂිත කාරණාව ඉටු වෙන්නෙ නැහැ කියලා දැනගත්තු නිසා මම කොළඹ අපරාධ කොට්ඨාසයට එය භාර දුන්නා.’

සභාපති විනිසුරු ප්‍රතී පද්මන් සූරසේන මහතා

කොළඹ අපරාධ කොට්ඨාසයට අදාළ බල ප්‍රදේශය කුමක් ද?

දේශබන්දු තෙන්නකෝන් මහතා

ස්වාමීනි, ඔවුන් වැඩ කරන්නේ කොළඹ ප්‍රදේශයේ, හැබැයි පොලිස්පතිගේ උපදෙස් මත පිට පළාත්වලට යන්නත් පුළුවන්. ඒ හැකියාව ඔවුන්ට තියෙනවා.

නීතීඥ වීරවික්‍රම මහතා

දුරකථන අංක ඇතුළත් ලියුම වැඩබලන අධ්‍යක්ෂවරයාට දීලා පැවසුවේ කුමක්ද

දේශබන්දු තෙන්නකෝන් මහතා ;

”ස්වාමීනි, එම දුරකථන අංකවලට අදාළ පුද්ගලයින් හරක් කටා සමග කතා කර තිබෙන්නේ ඔහුගේ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ අපරාධ සම්බන්ධයෙන් නම්, ඒ පිළිබඳව විමර්ශනය කරලා ඒ 149 දෙනාගේම වාර්තාවක් ලබා දෙන ලෙසට උපදෙස් දුන්නා.’

නීතීඥ එස්. වීරවික්‍රම මහතා

එම ලැයිස්තුවේ ඇතුළත් පුද්ගලයින් වැඩි වශයෙන් සිටියේ කුමන ප්‍රදේශවලද?

දේශබන්දු තෙන්නකෝන් මහතා :

”ඔවුන් මාතර, වැලිගම, පැළෑන, මිරිස්ස යන ප්‍රදේශවල සිටියේ. ඔවුන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාට අවශ්‍ය සම්පත් ලබා ගන්න කියලා මම ඔහුට වාචිකව අනුමැතියක් පවා ලබා දීලා තිබුණා.’

Tags