දේශීය පුවත්
හුංගම ද්විත්ව ඝාතනය සම්බන්ධයෙන් නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක් තුළදී යුවළක් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, එම ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත එම නිවෙස් හිමි කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දුරකථන විශ්ලේෂණ සහ විමර්ශනවලින් පසුව, එම කාන්තාව හා ඝාතනය සිදුකළ ප්‍රධාන සැකකරු වන කඩවත ආරච්චිගේ සමන් කුමාර නොහොත් ‘අඳුපැලෑනේ බිංදු’ නැමැත්තා අතර සමීප සබඳතාවක් පැවතීම හේතුවෙන්, ඊට ඇය ආධාර අනුබල දී ඇති බවට සැක කරන බවයි පොලීසිය සඳහන් කරන්නේ.
ප්‍රධාන සැකකරු පොලීසිය හමුවේ තවත් තොරතුරු රැසක් හෙළිකර ඇති අතර, සිය මිතුරා විසින් සමීප සබඳතාවක් පැවැත්වූ කාන්තාව ඝාතනය කිරීමට තමන්ට කිසිදු අවශ්‍යතාවක් නොවූ බවත්, තමා සිය මිතුරාට වෙඩි තැබූ බවත්, එම කාන්තාව පසුපස සැඟවීම නිසා ඇයටද වෙඩි වැදුණු බවයි සැකකරු සඳහන් කර ඇත්තේ.
තම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු පිළිබඳව ඔහු දැනුවත්ව සිටීම නිසා සිය මිතුරා ඝාතනය කළ බවයි ඔහු පොලීසිය හමුවේ ප්‍රකාශ කර තිබෙන්නේ.
ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
