දේශීය පුවත්
සුදු වෑන් එකකින් බිරිය පැහැරගත් සැමියා
බේරුවල, කරඳගොඩ, දිනාවත්ත ප්‍රදේශයේ සිදුවූ බිරිඳව පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් බේරුවල පොලීසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.
පොලීසියට පැමිණිලි කළේ පීඩාවට ලක්වූ කාන්තාවගේ මව වන 65 හැවිරිදි කාන්තාවකි. ඇය පැවසුවේ, තම දියණිය සෑමියා සමඟ ඇති ආරවුලක් හේතුවෙන් කාලයක් තම නිවසේ සිටි බවය. ඉකුත් මස 21 වැනි දින පස්වරුවේ, සැමියා මුහුණු ආවරණය කරගත් පිරිසක් සමඟ සුදු වෑන් රථයකින් පැමිණ, දියණියව බලහත්කාරයෙන් රථයකට නංවාගෙන පලා ගිය බවය. පැහැර ගැනීමට ලක්වූ කාන්තාවගේ පියා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ පිරිස අතුරින් එකෙකු සතුව පිස්තෝලයක්, තවත් අයෙකු සතුව මන්නයක් සහ තවත් අයෙකු සතුව කිනිස්සක් තිබූ බවයි.
පොලීසිය සැකකාර සැමියාගේ උතුරු කළුතර, පැල්පොල ප්‍රදේශයේ නිවස සෝදිසි කර ඇති නමුත් ඔහු එහි නොසිටි බව පවසයි. පසුව ඔහු දුරකථනයෙන් සම්බන්ධ වූ අවස්ථාවේ, බිරිඳට දුරකථනය ලබා දී ඇය පවසා ඇත්තේ තමා කැමැත්තෙන් සැමියා සමඟ සිටින බවය. කෙසේ වෙතත්, ඇය පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන බව පවසා තිබුණද, 22 වැනිදා වන විටත් යුවළ පොලීසියට පැමිණ නැත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ බේරුවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ආර්. නවරත්න මහතාගේ පාලනය යටතේ සිදු වේ.
