දේශීය පුවත්
දෙහිබාලේ සහ කලු මල්ලි අත්අඩංගුවට ගැනීමට නියෝග
විදේශයන්හි සැඟව සිටිමින් ශ්‍රී ලංකාවේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක් මෙහෙයවන බවට සැකපිට හඳුනාගත් “දෙහිබාලේ මල්ලි” සහ “කලු මල්ලි” ලෙස හැඳින්වෙන සෙහාන් සත්සර හා තුෂාන් නෙත්සර නමැති සහෝදරයන් අත්අඩංගුවට ගැනීමට සහ අධිකරණයට ඉදිරිපත් කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත.
එම නියෝගය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා විසින් නිකුත් කර ඇති අතර, සැකකරුවන්ට විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.
පසුගිය දිනවල දකුණු මුහුදේදී නාවික හමුදාව විසින් අයිස්, හෙරොයින් සහ හෂිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 839.254ක් අත්අඩංගුවට ගත් අතර, එම තොගය මෙරටට රැගෙන ආයේ මෙම සහෝදරයන් බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය (PNB) සඳහන් කරයි.
මෙම මත්ද්‍රව්‍ය ජාවාරම විදේශයෙන් (විශේෂයෙන් ඩුබායි සිට) මෙහෙයවූ බවටත් පරීක්ෂණවලින් අනාවරණය වී ඇති අතර, සැකකරුවන්ගේ දුරකථන විස්තර ලබා ගැනීමටද නියෝගයක් ඉල්ලා ඇත. ඒ සමඟ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ධීවරයින් පස්දෙනා නොවැම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර ඇත.
