දේශීය පුවත්
පානදුරයේ සිදුවූ වෙඩි තැබීම කුඩු සළිඳුගේ කොන්ත්‍රාත්තුවක් දැයි සැකයක්
පානදුර බටහිර මාලමුල්ල ප්රදේශයේ නිවසක පැවති සාදයක් අතරතුර යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු ත්රීරෝද රථයක සිටි පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදු කර තිබුණා.
වෙඩික්කරුවන්ගේ එම ඉලක්කය වී තිබුණේ කුඩු සළිඳු සමග කලක් මත්ද්රව්ය ජාවාරමේ නිරතව පසුව විරසක වී සිටින ඩුබායි නිලංග නමැත්තාගේ මස්සිනායි.
ඔහු එහිදී පලාගොස් ඇති අතර සාදයේ සිටි පිරිසක් වෙඩික්කරුවන්ට ගල් ප්රහාරයක් එල්ල කිරීම හේතුවෙන් ඔවුහු එම පිරිසටද වෙඩි තබා තිබෙනවා.
ඉන් බරපතල තුවාල ලැබූ 35 හැවිරිදි මාලමුල්ලේ පදිංචිකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එම ප්රදේශයේම පදිංචි 20 හැවිරිදි තරුණයෙකු පානදුර රෝහලේ ප්රථිකාර ගනිමින් සිටිනවා.
මෙය කුඩු සළිඳුගේ කොන්ත්රාත්තුවක් මත සිදුවූ වෙඩි ප්රහාරයක් බවට පොලීසිය සැක පල කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ ක්රියාත්මකයි.
