සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

මහ මැතිවරණයේ මනාප සම්බන්ධයෙන් රාජිතගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පසුගිය මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කයේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයින් ලබාගත් මනාප යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සැප්තැම්බර් 30 වැනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබෙනවා.
 
අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ජනක් ද සිල්වා සහ සම්පත් අබේකෝන් යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම අද කැඳවූ අවස්ථාවේදීයි එලෙස දින නියම කර ඇත්තේ.
 
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සභාපති සහ සාමාජිකයින්, එම මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් වූ රෝහිත අබේගුණවර්ධන නම් කර තිබෙන අතර වගකීම් භාර නිලධාරියා වශයෙන් නීතිපතිවරයා නම්කර තිබෙනවා.
 
ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ අක්‍රමිකතා හේතුවෙන් තමාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වූ බවත් තමන් සහ එම ආසනයෙන් තේරී පත් වූ අබේගුණවර්ධන මන්ත්‍රීවරයා අතර මනාප වෙනස ඡන්ද 119ක් බවත් අවසන් ප්‍රතිඵලය සඳහා එය බලපානු ලැබුවේද යන්න සම්බන්ධයෙනුත් පෙත්සම මගින් ඒ මහතා කරුණු විමසා තිබෙනවා.
 
තම මූලික අයිතිවාසිකම් කඩ වූ බව ප්‍රකාශ කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබා දෙන ලෙසත්, ප්‍රතිඵල නැවත ගණන් කිරීම සහ සංශෝධිත ප්‍රතිඵල සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කරු විසින් ඉල්ලා සිටින අතර​, රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් නීතීඥ කීර්ති තිලකරත්න මහතා සහ ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාෆා මහතා පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
 
Tags