දේශීය පුවත්
පලෙයි සිද්ධිය ගැන පොලීසිය සිදුකළ විමර්ශනයෙන් කරුණු රැසක් එළියට
පලෙයි ප්‍රදේශයේ එල්.ටී.ටී.ඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකළ ප්‍රකාශයට අදාළව සිදුකරන විමර්ශනයෙන් අනාවරණය වූ කරුණු පිළිබඳ ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහිදී අදාළ වීඩියෝව අනුව අදාළ ස්ථානය කිලිනොච්චිය පොලිස් කොට්ඨාසයේ අක්කරායන්කුලම පොලිස් වසමට අයත් වන කන්නගිපුරම බටහිර, මුක්කම්පන් ප්‍රදේශය බවට හඳුනාගෙන ඇත.
පලෙයි ප්‍රදේශයේ මහ කැලේ හෙලිකර තට්ටු 03 ක ගොඩනැගිල්ලක් සාදා ඇති බවත් මෙය එල්.ටී.ටී.ඊ කඳවුරක් යන්නත් බෝම්බ නිෂ්පාදනය කරන කම්හලක් මෙහි පවත්වාගෙන යන බවටත් පුද්ගලයෙකු විසින් සිදුකළ ප්‍රකාශයක වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව ශ්‍රී ලංකා පොලිසියේ නිරීක්ෂණයට ලක්වීමත් සමඟ මෙලෙස විමර්ශන කටයුතු පසුගියදා ආරම්භ කෙරුණි.
මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මගින් හා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව එම කොට්ඨාස මඟින් සිදුකරන ලද විමර්ශනයන්ට අදාළව වාර්තා කැඳවීමට කටයුතු කර ඇති බව පොලීසිය පැවසීය.
විමර්ශනවලදී අනාවරණය වී ඇති කරුණු අනුව සමාජ මාධ්‍ය හරහා ඉහත පරිදි සිදුකරන ලද ප්‍රචාරය පදනම් විරහිත සහ අසත්‍ය කරුණු වන බවත්, මෙම ස්ථානය මූලික කර ගනිමින් පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදනය, නීතිවිරෝධි ද්‍රව්‍ය නිෂ්පාදනය හෝ බෝම්බ නිෂ්පාදනයක් සිදුවන බවට කිසිදු කරුණක් විමර්ශනයේදී හෙළිදරව් නොවූ බව පොලීසිය අදාළ නිවේදනය මඟින් දැනුම්දී ඇත.
එමෙන්ම කිසිදු එල්.ටී.ටී.ඊ හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයක් හෝ අන්තවාදි සංවිධානයක් ප්‍රවර්ධනය වන ආකාරයේ කිසිදු කටයුත්තක් සහ ත්‍රස්ත ක්‍රියාකාරකමක් සඳහා සංග්‍රාමික පුහුණු මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාමක් එම ස්ථානයේ සිදුනොවන බවටද වාර්තාකර ඇත.
මෙම ස්ථානය සම්බන්ධයෙන් නීතිවීරෝධී කැලෑ එළිකිරීමක් හා නීතිවිරෝධී වත්කම් උපයා ගැනීමක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් තව දුරටත් විමර්ශන සිදුකරන බවටත් දැනුම්දී ඇත.
2026.08.18 දින ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් අක්කරායන්කුලම් පොලිස් වසමේ පලෙයි රක්ෂිතයේ එල්ටීටීඊ පුහුණු කඳවුරක් පවත්වාගෙන යන බවට තහවුරු නොකරන ලද අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය හරහා වීඩියෝ පටයක් හා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් එම ප්‍රකාශය සිදුකළ වයස අවුරුදු 46ක් වන බොරලැස්ගමුව, බෙල්ලන්විල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් අතර පසුව ඔහුව ඊයේ (19) අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.
එහිදී සැකකරුව සැප්තැම්බර් මස 2 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කරනු ලැබීය.
කිලිනොච්චිය කොට්ඨාසභාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා මඟින් හා ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.
