දේශීය පුවත්
අවිධිමත් සහල් ආනයනයෙන් සතොසට බිලියන 15කට වැඩි පාඩුවක්
පසුගිය 2014 සහ 2015 වසරවලදී විධිමත් ප්‍රසම්පාදන ක්‍රියාවලි නොපවත්වා සිදුකළ සහල් ආනයනය හේතුවෙන් ලංකා සතොස ආයතනයට රුපියල් බිලියන 15.1ක පාඩුවක් සිදුව ඇති බව පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) මඟින් අනාවරණය කර ඇත. පාර්ලිමේන්තුවේදී පැවති කාරක සභා රැස්වීමේදී 2021 සහ 2022 වර්ෂවල විගණකාධිපති වාර්තා සමාලෝචනය කිරීමේදී මෙම තොරතුරු ඉදිරිපත් විය.
COPE සභාව පෙන්වා දුන්නේ 2014 සහ 2015 වසරවලදී රු. 27,011,980,142 ක් පිරිවැයක් දරා සහල් ආනයනය කළත්, එම සහල් අලෙවියෙන් ලැබී ඇත්තේ රු. 11,854,949,124 ක් පමණ බවයි. ඒ අනුව, සහල් වෙළෙඳපොළ තත්ත්වය පිළිබඳ නිසි අධ්‍යයනයක් නොකර සහල් ආනයනය කිරීමෙන් රු. 15,157,031,018 කට ආසන්න පාඩුවක් සතොසට සිදුව ඇති බව කාරක සභාව සඳහන් කරයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඇත්දැයි කාරක සභාව විමසා සිටියේය. එයට පිළිතුරක් ලෙස, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් නීතිපති දෙපාර්තමේන්තුවට චෝදනා ගොනුකරදීමට පියවර ගෙන ඇති බව නිලධාරීන් පැහැදිලි කළහ. තවද, අයවිය යුතු මුදල් අයකර නොමැති ආයතන හිමිකරුවන් 18 දෙනෙකුගෙන් රු. 27,435,000 ක් අය කිරීම සඳහා නඩු පවරා ඇති බවත් COPE කමිටුවට පෙන්වා දී ඇත.
