සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අතුරුදහන්ව සිටි NPP මන්ත්‍රීවරයා සහ මන්ත්‍රීවරිය හමුවෙයි

ජාතික ජන බලවේගයේ අතුරුදහන් වූ මන්ත්‍රීවරිය සහ මන්ත්‍රීවරයා අද (27) සවස ගාල්ල, උණුවටුන මුහුදු තීරයේ සිටියදී සොයාගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ඔවුන් දෙදෙනාට කිසිඳු හානියක් සිදුව නොමැති බවයි.

එම මන්ත්‍රීවරයා කනංකේ පොලීසියට පැමිණ ඇති බවද වාර්තා වනවා.

වැලිගම ප්‍රදේශයේ සභාවේ සභාපතිවරයා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද (27) පැවැති අතර එහිදී ඔවුන් දෙදෙනා පැහැර ගැනීමකට ලක්ව තිබුණා.

මන්ත්‍රීවරු දෙදෙනෙක් පැහැර ගැනීමේ සිද්ධිය හේතුවෙන් ඇතිවූ නොසන්සුන්තාවක් හේතුවෙන් වැලිගම ප්‍රාදේශීය සභාවේ මංගල රැස්වීමේ කටයුතු කල් තැබීමට අද (27) සිදුවුණා.

ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය සභික ධූර 22ක් හිමි කරගෙන තිබූ අතර සමඟි ජන බලවේගය ඇතුළු සෙසු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් හිමිකරගෙන තිබූ සභික ධූර ගණන 22කි.

මේ අනුව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් දකුණු පළාත් පාලන කොමසාරිස්වරියගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 9.30ට පමණ සභාවේ කටයුතු ඇරඹුණා.

කෙසේ නමුත් එහිදී ජාතික ජන බලවේගය නියෝජනය කරන මන්ත්‍රීවරයෙක් සහ මන්ත්‍රීවරියක් සභාවට පැමිණි නොසිටි අතර ඔවුන් දෙදෙනා පැහැර ගැනීමට ලක්ව ඇති බවට එම පක්ෂයේ සෙසු නියෝජිතයින් සභාවට දැනුම් දී තිබුණා.

මේ හේතුවෙන් ඔවුන් පැමිණෙන තුරු සභාවේ කටයුතු අත්හිටුවන්නැයි ඔවුන් පළාත් පාලන කොමසාරිස්වරියගෙන් ඉල්ලා තිබුණා.

මෙහිදී පළාත් පාලන කොමසාරිස්වරිය එම අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත්තේ සභාවේ ගණ පුර්ණය පවතින බැවින් එය සිදුකළ නොහැකි බවයි.

මෙම තත්ත්වය හමුවේ සභාව මිනිත්තු 30කට කල් තැබීමට පළාත් පාලන කොමසාරිස්වරිය කටයුතු කිරීමට උත්සාහ කිරීම සමඟ එම අවස්ථාවේ සභා පරිශ්‍රයට පැමිණ සිටි ජාතික ජන බලවේගයේ ආධාරකරුවන් පිරිසක් සභා ගැබ තුළට පැමිණ සිය විරෝධය පළකලා.

මෙම නොසන්සුන් තත්ත්වය සමඟ සභාවේ කටයුතු සිදුකරගෙන යාමට නොහැකි වූ අතර දින 30ක කාලයක් තුළ නැවත සභාව රැස්වීමෙන් අපේක්ෂාවෙන් සභාව කල් තැබීමට දකුණු පළාත් පාලන කොමසාරිස්වරිය විසින් පියවර ගනු ලැබුවා.

මෙලෙස පැහැරගැනීමට ලක්ව තිබුණේ ජාතික ජන බලවේගය නියෝජනය කරන අජිත් ප්‍රියන්ත මන්ත්‍රිවරයා සහ කමනි මාලා අල්විස් මන්ත්‍රිවරියයි.

Tags