දේශීය පුවත්
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් අද ලංකාවට
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතා අද (23) මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පැවසුවේ ඒ මහතා අද (23) සිට ලබන 26 වනදා දක්වා මෙරට සංචාරය කිරීමට නියමිත බවයි.
2016 වසරෙන් පසුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයෙක් ශ්‍රී ලංකාවේ සිදුකරන පළමු සංචාරය මෙය බවද සඳහන්.
සංචාරය අතරවාරයේ දී මහ කොමසාරිස්වරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය මෙනවිය ද හමුවීමට නියමිතව තිබෙනවා.
ඊට අමතරව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා සහ තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරීන්, ආගමික නායකයින්, සිවිල් සමාජ නියෝජිතයින්, රාජ්‍ය තාන්ත්‍රික ප්‍රජාවේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද හමුවීමට නියමිතයි.
තවද මෙරට මානව හිමිකම් කොමිසම සමඟ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් වොල්කර් ටර්ක් මහතාගේ සංචාරය අතරතුර ශ්‍රී දළදා මාලිගාව වැඳ පුදා ගැනීමට ද සැලසුම් කර ඇති අතර මල්වතු සහ අස්ගිරි පාර්ශ්වයන්හී මහනාහිමිවරුන් බැහැදැකීමට නියමිත බව සඳහන්.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේ යාපනය සහ ත්‍රිකුණාමලය ප්‍රදේශයේ සංචාරය කිරීමට නියමිත අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන් හමුවීමට ද සැලසුම් කර ඇති බවයි.
