දේශීය පුවත්
දීපාවලී දිනය අදයි
ලෝක හින්දු ජනතාව විසින් මහත් ගෞරවයෙන්, භක්තියෙන් හා උත්සවකාරයෙන් සමරන දීපාවලී උත්සවය අද (20) දිනයේ පවත්වනු ලබයි.
ඉන්දියානු සංස්කෘතික උත්සව අතරින් ප්‍රධාන ස්ථානයක් ගන්නා මෙම උත්සවය, විෂ්ණු දෙවියන් විසින් නරගාසුර නම් අසුරයා පරාජය කර ආලෝකය අඳුර මත ජයග්‍රහණය කළ මූලික සිදුවීමක් ලෙස සැලකේ. හින්දු බැතිමතුන් විසින් “අඳුර පහව ගොස් ආලෝකය උදාවේවා” යැයි ප්‍රාර්ථනා කරමින් තම නිවෙස්වල පහන් දල්වා මෙම උත්සවය සැමරීම සම්ප්‍රදායයකි.
මේ අවස්ථාව උපුටා දක්වමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තම දීපාවලි සුභ පණිවිඩයේදී පැවසූවේ, මේ වන විට රජය මත් උවදුර සහ අපරාධ මැඬලීම සඳහා මහත් වෑයමක නිරතව සිටින බවය. එමඟින් පුරවැසියන්ගේ ශාරීරික, මානසික සහ භෞතික සුරක්ෂිතභාවය තහවුරු කිරීමට රජය කැපවී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. තවද ඔහු පෙන්වා දුන්නේ, සමාජ සාධාරණත්වය සහ ජාතික ඒකතාව ප්‍රමුඛ කරමින් සියලු ආගම් හා ජනගෝෂ්ඨීන් එකට එකතු කරන සුරක්ෂිත රටක් ගොඩනැගීමට රජය කැපවී ඇත යන්නයි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ද තම දීපාවලි පණිවිඩයේදී ප්‍රාර්ථනා කළේ, “දැල්වෙන පහන් ආලෝකය ශ්‍රී ලංකාවේ ආර්ථික පුනරුදයට හා සමාජ සංහිඳියාවට මඟ පෙන්වන ප්‍රඥා ආලෝකයක් වේවා” යන්නයි. ඇය වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ශ්‍රී ලංකාව මේ වන විට සුවිශේෂී හැරවුම් ලක්ෂයක් ගමන් කරමින් නව බලාපොරොත්තු සහ විශ්වාසයන් අත දරා සිටින අවධියක් බවය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද දීපාවලි උත්සවය නිමිත්තෙන් නිකුත් කළ පණිවිඩයකින් සදහන් කර තිබේ, “අසත්‍යයෙන් සත්‍යයට, අවිද්‍යාවෙන් විද්‍යාවට සමාජය රැගෙන යන ආලෝකයක් ලෙස මෙම දිනය සැලකිය යුතුය” යැයි. ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ, වර්තමානයේ අසත්‍ය හා අවිද්‍යාව විසින් සත්‍යය හා විද්‍යාව වසා දමා ඇති බවත්, එම අන්ධකාරය පරාජය කර යහපත උදාවට සමාජය එක්විය යුතු බවත්ය.
රට පුරා දීපාවලි උත්සවය නිමිත්තෙන් පහන් දැල්වීම්, ආලෝක සැරසිලි, දානයන් හා ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර, ආලෝකය, බලාපොරොත්තුව සහ එකමුතුව ප්‍රධාන තේමාවක් ලෙසින් මෙවර උත්සවය සැමරේ.
