දේශීය පුවත්
සලින්ත සහ පද්මේ සමඟ සබඳතා පැවැත්වූ ආරක්ෂක අංශ නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ‘කමාන්ඩෝ සලින්තට’ ටී – 56 උණ්ඩ අලෙවි කළ ලුතිනන් කර්නල්වරයෙක් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ මල්ලාවි පාලෙයිනගර් යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී වශයෙන් කටයුතු කරමින් සිටියදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම යුද හමුදා නිලධාරියා අත්අඩංගුවට ගත් බවයි.
ටී – 56 උණ්ඩ ප්රමාණයක් උණ්ඩ 200ක් සහ 60ක් ලෙස අවස්ථා දෙකකදී මෙලෙස ලබාදී ඇති අතර ඒ සඳහා සැකකරු ලක්ෂ 6.5ක මුදලක් ලබාගෙන ඇති බව හෙළිව තිබෙනවා.
සැකකාර ලුතිනන් කර්නල්වරයා 2017 වසරේ දී ගණේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේ සේවය කර ඇති බවද වාර්තා වනවා.
මෙහිදී කමාන්ඩෝ සලින්ත නැමැත්තා ඔහු යටතේ සේවය කර ඇති බව සඳහන්.
කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම ලුතිනන් කර්නල්වරයා විනය විරෝධී ක්රියාවක් හේතුවෙන් එම රෙජිමේන්තුවෙන් ඉවත් කර පාබල හමුදාවේ සේවය සඳහා අනුයුක්ත කර ඇති බවද වාර්තා වනවා.
මේ අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික කෙහෙල්බද්දර පද්මේ සමඟ සමීප සබඳතා පැවැත්වීමේ චෝදනා මත උප පොලිස් පරීක්ෂකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් මාධ්ය ප්රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යු. වුට්ලර් මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
එම පොලිස් පරීක්ෂකවරයා ගම්පහ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට අනුයුක්තව සේවය කරන අයෙක් බවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළා.
ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් පස් දෙනෙක් පසුගියදා දිවයිනට රැගෙන ඒමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මේ වන විට ඔවුන් රඳවාගෙන ප්රශ්න කිරීම් සිදු කරනු ලබනවා.
මෙලෙස සිදුකළ ප්රශ්න කිරීම්වලදී හෙළි වූ තොරතුරු මත මෙම සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.
