දේශීය පුවත්
ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක – නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ
අමෙරිකාව ශ්‍රී ලංකාවට නව බදු පනවා ඇතත් රජය මේ වන විට එම ප්රශ්නය විසඳා ගැනීම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සමඟ ඔට්ටු වෙමින් සිටින බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය, වෛද්‍ය සුසිල් රණසිංහ මහතා පවසනවා.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගිය 18 වනදා දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවති “වී අස්වැන්න ඉහළ නැංවීමේ ජාතික මෙහෙයුම” උත්සවය අමතමිනි.
මෙම බදු පැනවීම අසාධාරණ බවද ඔහු පෙන්වා දෙනවා.
“අපි රජය විදියට පත්වෙනකොට රට බංකොලොත්. අපි පිටරටින් ගත්ත ණය ගෙවන්නෙ නෑ, පිටරටින් ණය ගන්න බෑ, ණය ගොඩක් ගොඩගැහිලා හිරවෙලා අපි හිටියෙ. නමුත් අපි රජයක් විදියට ඒ ණය ප්‍රතිව්‍යුහගත කරලා, ආර්ථිකය ස්ථාවරය කරලා බංකොලොත්භාවයෙන් ඉහළට ආවා. දැන් ආර්ථිකය අපි පණගහලා නැගිටිමින් ඉන්නවා. ආර්ථිකය ස්ථාවරය ඉස්සරහට යමින් තිබෙනවා.
දැන් ඔය මේ දවස්වල කතාවක් තියෙනවානෙ ඇමරිකාවෙන් ට්‍රම්ප් මහත්තයා බදු ගැහුවා කියලා. බදු ගහලා තියෙන්නෙ. ට්‍රම්ප් බදු ගැහුවාට අපි ඔට්ටු වෙනවා ට්‍රම්ප් එක්ක ‘නෑ, නෑ, බදු එච්චර අපට ගහන්න එපා, අඩු කරන්න. අපි ආර්ථික වශයෙන් බිඳවැටිලා බංකොලොත්වෙලා නැගිටින රාජ්‍යයක්. අපිට එච්චර බදු ගහන්න එපා, ඒක අසාධාරණයි. අපට සහනයක් දෙන්න’ කියලා මේ වෙනකොට සාකච්ඡා කරනවා.
මේ වෙනකොට සාකච්ඡා වට හත අටක් ගිහිල්ලා තියෙන්නෙ. 18 වෙනිදා අපේ රජයේ කණ්ඩායමක් ආයෙ ඇමරිකාවට යනවා. අපි උත්සාහයක් දරමින් ඉන්නවා. අපට සහනයක් ඕනෙ. ඒක අපි ඇමරිකාවත් එක්ක ද්විපාර්ශ්වික සාකච්ඡා. අපි කරුණු කාරණා පෙන්නනවා. ඇමරිකාවට අපි නැතිව ඉන්නත් බෑ, අපිට ඇමරිකාව නැතිව ඉන්නත් බෑ මේ ආර්ථික වශයෙන් ගත්තාම. ඒ නිසා අපි ආර්ථිකය ස්ථාවර කරන පැත්තෙන් ගත්තොත් මේකට ගමේ භාෂාවෙන් කියනවා නම් ඔට්ටු වෙමින් ඉන්නවා. ඒක කළේ නැත්නම් ආර්ථිකය ඉස්සරහට යන්න අමාරුයි, ඒක කළ යුතුයි”
