විදෙස් පුවත්
ගාසා යුද්ධය අවසන් කිරීමට සියලු පාර්ශ්වයන් ඉක්මනින් ඉදිරියට යා යුතුයි – ඩොනල්ඩ් ට්‍රම්ප්
ගාසා යුද්ධය අවසන් කිරීමේ උත්සාහයන් තවදුරටත් වේගවත් කිරීමට සියලු පාර්ශ්වයන් කටයුතු කළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය අතර සාම සාකච්ඡා සඳහා වූ මැදිහත්කරුවන් හමුවීමට නියමිත බැවින්, සාමය සඳහා වන ක්‍රියාවලි ඉක්මනින් ඉදිරියට ගෙන යා යුතු බවත් ඔහු “Truth Social” ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කර ඇති සාම සැලැස්මේ යටතේ, ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා පාලනය පලස්තීන තාක්ෂණික කණ්ඩායම් වෙත භාර දීම ඇතුළු කරුණු 20ක් පුරා ඇති අතර, ඒ අතුරින් හමාස් සංවිධානය සමහර කොටස් සඳහා එකඟ වී ඇති බව වාර්තා වේ.
ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත්තේ, මෙම සාකච්ඡා ඉතා සාර්ථක වන නිමා වී ඇති බවත් පළමු අදියර මේ සතියේම අවසන් කළ යුතු බවත්ය. එමනිසා සියලු පාර්ශ්වයන් ඉක්මනින් ක්‍රියාත්මක විය යුතු බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
ඒ අනුව, සාම කණ්ඩායම් අද (06) දිනයේදී ඊජිප්තුවේ නැවත රැස්වී අවසාන තොරතුරු සාකච්ඡා කිරීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
“මෙම ගැටුම වසර ගණනාවක් පුරා දිගින් දිගටම නිරීක්ෂණය කළෙමි. දැන් කාලය ඉතා වැදගත් ය. නියමිත පියවර නොගත්හොත් දැවැන්ත ලේ වැගිරීම් සිදුවිය හැක,” යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් තවත් සඳහන් කර තිබේ.
මේ අතර, හමාස් ප්‍රධානී කලීන් අල්-හයියාගේ නායකත්වයෙන් යුත් නියෝජිත කණ්ඩායමක් ඊයේ (05) දිනයේදී ඊජිප්තුවට පැමිණ ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගිය මාසයේ කටාර් අගනුවර දෝහා හිදී ඊශ්‍රායල ප්‍රහාරයකින් බේරී ගිය ඔහු ඊජිප්තුවට පැමිණීම මෙය පළමු වරක් වන බවද සඳහන් වේ.
එක්සත් ජනපද සාම සැලැස්මේ පළමු අදියර යටතේ, පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම වෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය තවත් දැනුම් දී තිබේ.
