සොයන්න
උණුසුම් පුවත්

විදෙස් පුවත්

ලූවර් කෞතුකාගාරයේ මිනිත්තු හතරේ ආභරණ සොරකම

ප්‍රංශයේ පැරිස් නගරයේ පිහිටි ලෝකප්‍රකට ලූවර් කෞතුකාගාරය තුළ අධි ආරක්ෂාවක් යටතේ තැන්පත් කර තිබූ මිල කළ නොහැකි ආභරණ කිහිපයක් මිනිත්තු හතරක කාලයකදී පැහැරගෙන ගොස් තිබේ. මෙම සොරකම සිදුව ඇත්තේ ඊයේ (19) උදෑසන කෞතුකාගාරය මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කළ සුළු වේලාවකට පසුය.

වාර්තා වලට අනුව, ට්‍රක් රථයක සවිකළ ස්වයංක්‍රීය ඉණි මගක් සහ විශේෂ උපකරණ භාවිතා කරමින් තිදෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩනැගිල්ලේ පළමු මහලේ සඳළුතලයට ළඟා වී, ජනේලයක් කඩා ඇතුළු වී සොරකම සිදු කර තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, එම පිරිස මුහුණු ආවරණය කර සිටි බවයි.

පැහැර ගත් වස්තු අතරට,තෙවැනි නැපොලියන්ගේ බිරිඳ ඉයුජින් ආර්යාවට අයත් ඔටුන්නක් සහ හාරිච්චියක්,
මාරි ලුයී ආර්යාවගේ මරකත මාලයක් සහ කරාබු යුගලක්,
මාරි අමේලියා රැජිනට සහ හෝට්නස් රැජිනට අයත් ඉන්ද්‍රනීල ඔටුන්නක්, මාලයක්, කරාබුවක් සහ තවත් හාරිච්චියක් අයත් බවට වාර්තා

කෙසේවෙතත්, බිම වැටී තිබියදී ඔටුන්නක් සහ තවත් ආභරණයක් සොයාගෙන ඇත.

ලෝවර් කෞතුකාගාරය ලෝකයේ විශාලතම කෞතුකාගාරය ලෙස සැලකේ. එහි ලියනාඩෝ ඩාවින්චිගේ ප්‍රසිද්ධ “මොනාලිසා” සිතුවම ඇතුළු අගනා කලා කෘති සහ කෞතුක භාණ්ඩ 35,000කට අධික සංඛ්‍යාවක් තැන්පත් කර ඇත.

1793 වසරේ විවෘත කළ මෙම කෞතුකාගාරය වසර 232ක ඉතිහාසයක් ඇති අතර, පසුගිය වසරේ පමණක් මිලියන 8.7ක පිරිසක් එය නැරඹීමට පැමිණ ඇත. එය එම වසරේ ලෝකයේ වැඩිම සංඛ්‍යාවක් නරඹන ලද කෞතුකාගාරය වූ අතර, මේ වන විට එහි ආරක්ෂක ක්‍රම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව ප්‍රංශ පොලිසිය පවසයි.

Tags