විදෙස් පුවත්
“Tesla Take Down” ජර්මනියේ දී ටෙස්ලා රථ 7ක් ගිනි ගනියි.
ජර්මනියේ උතුරුදිග නගරයකදී ටෙස්ලා මෝටර් රථ පෙළක් ගිනි ගැනීමට ලක්වීමේ සිදුවීමක් වාර්තා වනවා. බිලියනපති එලෝන් මස්ක්ට අයත් ටෙස්ලා සමාගමේ ප්‍රදර්ශනාගාරයක එළිමහනේ ගාල්කර තිබූ රථ 07ක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබුණා.
මෙම රථ ගිනි ගැනීමේ සිදුවීමක් වාර්තා වන්නේ ලොවපුරා රටවල් රැසක මස්ක්ට විරුද්ධව “Tesla Take Down” යනුවෙන් විරෝධතා පැවැත්වෙන පසුබිමකයි.
බොහෝ දෙනා සැක මතු කළද, අදාළ රථ ගිනි ගැනීම සහ එම විරෝධතා මාලාව අතර සම්බන්ධයක් පවතීද යන්න පිළිබඳ මෙතෙක් අනාවරණය වී නැතැයි සඳහන්. එම විරෝධතාවයන්ට හේතු වී ඇත්තේ එලෝන් මස්ක් අමෙරිකාවේ ෆෙඩරල් රජය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගවලට විරෝධය පෑම වන අතර, අමෙරිකාවේ ටෙස්ලා ප්‍රදර්ශනාගාර රැසක් ඉදිරිපිට මෙන්ම ජර්මනියේ බර්ලින් නුවරද අදාළ විරෝධතාවයන් සංවිධානය කර තිබෙනවා.
