දේශීය පුවත්
විපතට පත්වූවන් බේරා ගන්න ගිය විශේෂ කාර්ය බලකායේ සෙබලෙක්ට අනතුරක්
ඇල්ල පොලිස් වසමේ ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ තංගල්ල ප්‍රදේශයේ සිට විනෝද චාරිකාවක් පැමිණි පිරිසක් රැගත් බස් රථයක් එම මාර්ගයෙන් 24 වන කිලෝමීටර් කණුව ආසන්නයේ ප්‍රපාතයකට පෙරලී සිදුවූ අනතුරකින් මේ වන විට මියගොස් ඇති පුද්ගලයින් ගණන 15 දෙනෙක් බව පොලීසිය පවසනවා.
රියදුරු සහ කොන්දොස්තර සමඟ බස් රථයේ මඟීන් 34 දෙනෙක් ගමන් කර තිබුණා.
ඇල්ල වැල්ලවාය මාර්ගයේ 23 සහ 24 කිලෝමීටර් කණුව අසල ප්‍රදේශයේ දී ඊයේ (04) රාත්‍රී 9ට පමණ අනතුර සිදුව තිබුණා.
එම බස් රථය ඉදිරියෙන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයකද ගැටී මාර්ගයේ ආරක්‍ෂිත යකඩ වැටේ ද ගැටී අඩි 1000ක පමණ ප්‍රපාතයකට පෙරලී තිබෙනවා.
මේ වන විට පිරිමි පුද්ගලයින් 6ක්, කාන්තාවක් 5ක්, පිරිමි දරුවන් 3ක් සහ දැරියන් දෙදෙනෙකු ඇතුළු 18 දෙනෙක් බදුල්ල ශික්ෂණ රෝහල, බණ්ඩාරවෙල සහ දියතලාව යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් පසු වනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 6ක් සහ කාන්තාවන් 9ක් සිටින බවයි.
ඔවුන් සියලු දෙනා තංගල්ල සහ ඒ අවට ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඔවුන් තංගල්ල නගර සභා සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල ඥාතීන් බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා සඳහන් කළා.
මෘත ශරීර මේ වන විට දියතලාව, බදුල්ල සහ බණ්ඩාරවෙල රෝහල්වල තැන්පත් කර තිබෙනවා.
මේ අතර බස් රථයේ අධික වේගය හේතුවෙන් එය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව සිදුකළ මුලික විමර්ශනවල දී තොරතුරු හෙළිව ඇති බව පොලීසිය සඳහන් කරනවා.
අනතුරින් දිවි බේරාගත් පුද්ගලයෙකු මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබාදෙමින් ප්‍රකාශ කර ඇත්තේ අනතුර සිදුවීමට පෙර බස් රථයේ රියදුරු විසින් තිරිංගවල යම්කිසි දෝෂයක් පවතින බවට ප්‍රකාශ කර ඇති බවයි.
මේ අතර ඇල්ල වැල්ලවාය මාර්ගයේ රාවණා ඇල්ල අසළ ප්‍රපාතයට පෙරළීමෙන් සිදුවූ බිහිසුණු අනතුරින් විපතට පත් පිරිස් බේරා ගැනීම සඳහා ගොස් සිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ කෝප්‍රල්වරයකු තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවේ දෙවන විශේෂ බලකායේ කෝප්‍රල් බණ්ඩාරයි.
ඔහු එම ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර නිවාඩු ලබා නිවසෙට ගොස් සිටියදී මෙම අනතුර සිදු වූ ස්ථානයට ගොස් තිබෙනවා.
එම ස්ථානයට පැමිණි මෙම සෙබලා පිරිස් බේරා ගැනීමේ දී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වනවා.
මෙම බස් රථය අඩි 1000කට වැඩි ප්‍රපාතයකට පෙරලී ඇති අතර ප්‍රදේශවාසීන් සමඟ මෙම කෝප්‍රල්වරයා ද පිරිස් බේරා ගැනීම සඳහා පහළට බැස ඇති බවත් එහිදී ඔහුගේ මුහුණට ගලක් පෙරලී ඇති බවත් පැවසෙනවා.
මේ වන විට ඔහු බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.
