සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

Sri Lankan Airlines පාඩුව දරාගත යුත්තේ ඔබ මම​ ඇතුළු මෙරට සමස්ත පුරවැසියන් ද​?

ආසන්න කාලසීමාවේදී ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සම්බන්ධයෙන් හාස්‍යය මෙන්ම අකාර්‍යක්‍ෂමතාවය කැටිවුණු පුවත් රැසක් නිරන්තරයෙන් අසන්නට දකින්නට ලැබුණු ආකාරය ඔබට මතක ඇති. මේ වෙද්දී පාලනාධිකාරියේ තීරණය වෙලා තිබෙන්නේ ගුවන් සමාගම විකුණා දැමීම කියන කරුණ පිළිබඳවත් ඔබ දැනුවත් ඇති. ආයෝජකයින් කොතෙකුත් සෙව්වත් මේ තරම් විශාල​ ණය බරකින් මිරිකිලා තිබෙන සමාගමක් වෙනුවෙන් මුදල් යොදවන්න කිසිවෙකුට උමතුවක් නැහැ. ඉතින් මේ තත්ත්වය හින්දම ඔවුන් ආයෝජකයෙකුට ලබා දෙන්න යන නවතම වාසිය තමයි ඩොලර් මිලියන 500ක ණය ප්‍රමාණය නැතිනම් බිලියන භාගයක ණය ආණ්ඩුවට පවරා ගනිමින් ණය බරකින් තොරව සමාගම විකිණීම​. ඒක හරියටම කියනවනම් Full lease එකක් දාලා ලබාගත්ත වාහනයක් එම වාහනයෙන් කිසිදු ආදායමක් උපයන්නේ නැතුව වෙනත් පාර්ශවයකට ලාභ උපයන්න ලබා දීල නිකරුණේ තමන් ලීසිං එක ගෙවාගෙන යනව වගේ වැඩක්..

ආණ්ඩුව ලබා දෙන්න බලාපොරොත්තු වෙන මේ ඩොලර් මිලියන 500ක සහනය, සටහන තබන මොහොතේ රුපියල් 308ක විනිමය අනුපාතය යටතේ ගත්තොත්  රුපියල් වලින් බිලියන 154ක​ අලාභයක්. මේ හානිය කොතෙක් ද කිව්වොත් මහ බැංකු බැඳුම්කර වංචාව​, සීනි බදු වංචාව සහ​ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදු වෙච්ච​ ETF/ EPF හානියටත් වඩා වැඩියි. මම ඒක ඔබට මෙහෙම පැහැදිලි කරන්නම්. අඥාණ පාලකයන්ගේ තීන්දු තීරණ නිසා මේ රටේ එක පුරවැසියෙක් රුපියල් 7000කින් ණය වෙලා තිබෙනවා මෙකී ශ්‍රී ලංකන් එයාර්ලයින් පාඩුවට​. ඇකයේ නිදා සිටින බිළිඳාටත් මේ රුපියල් 7000ක ණය බර අයිතියි. ඔබේ නිවසේ සාමාජිකයන් 04 දෙනෙකු සිටිනවානම් 28,000/- මුදලක් ඔබගේ නිවසින් මෙකී ණය බර වෙනුවෙන් කැපකල යුතුයි.

මෙය කොතෙක් නම් අසාධාරණ අයුක්ති සහගත ක්‍රියාවක් ද​? මොකද පාඩු පිට පාඩු ලබද්දීත් භාණ්ඩාගාරයෙන් මුදල් පොම්ප කරමින් ගුවන් සමාගමක් නඩත්තු කලේ ඔබ මම හෝ හයක් හතරක් නොදත් මේ රටේ දරු පැටවුන් නොවෙයි. නමුත් අද ඒ වන්දිය ගෙවා දමන්න සිදුවෙලා තිබෙන්නේ අපට​. ගුවන් සමාගමේ අතීතය දිහාවට හැරිලා බැලුවොත් ඉතා හොඳින් ලාභ උපයමින් එමිරේට්ස් සතුව තිබියදී ප්‍රතිපත්තීමය තීරණයක් විදිහට 2008 මාර්තු මස 31 වන දා නැවත ශ්‍රී ලංකා රජයට සමාගම​ පවරාගන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ විසින්. එවකට සභාපතිවරයා විදිහට හිටපු බ්‍රිතාන්‍ය ජාතික පීටර් හිල්ව ඉවත්කරලා රාජපක්‍ෂ රජය විසින් නව සභාපතිවරයා වශයෙන් පත් කරන්නේ නිශාන්ත වික්‍රමසිංහ​. ඥාතීත්වය අතින් ගත්තහම නිශාන්ත වික්‍රමසිංහ කියන්නේ මහින්ද රාජපක්‍ෂගේ මස්සිනා. බිරිඳ වෙන ශිරන්තිගේ සහෝදරයා. ඔබට හිතාගන්න පුළුවන් නේද ලාභ ලබමින් තිබූ ගුවන් සමාගමකට අද මේ වගේ ඉරණමක් අත්වෙන්න මේ පුද්ගලයා මොන වගේ ප්‍රතිපත්තීමය තීරණ ගන්නට ඇත්ද යන වග​.

ඉන් පසුව කාලසීමාව අරගෙන බලද්දී ගුවන් සමාගමට සිද්ධ වුණු තවත් අලාභයන් ගණනාවක්ම තිබෙනවා. 2013 වසරේදී (නිවැරදි කිරීම්වලට යටත්ව​) ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෙත ගුවන්‍ යානා මිලදී ගැනීමට ප්‍රංශ එයාර්බස් සමාගමට අත්තිකාරම් වශයෙන් ඩොලර් මිලියන දෙකක් තවත් එක් අතරමැදි සමාගමකට ගෙවා තිබෙනවා. ඉන්පසු යහපාලන රජය ඇරඹීමෙන් පස්සේ මෙකී ගණුදෙණුව අවලංගු කිරීමට තීරණය කලා සහ ඒ සඳහා අලාභය ඩොලර් මිලියන 98 විදිහට ගෙවා දමනවා. මුළු එකතුව ගත්තොත් එතැනදීත් ඩොලර් මිලියන සියයක්. පොදුවේ මේ කියන ගජ මිතුරු ආණ්ඩු මාරුවෙන් මාරුවට ඔබට මට සිදුකරලා තිබෙන අලාභය ඩොලර් මිලියන 600ක්. දස අවුරුදු කාල සීමාවකදී සමාගමේ අලාභය මේ විදිහට ගොඩනැගෙද්දී එහි සේවකයන් කාර්‍යක්‍ෂමව ආයතනය වෙනුවෙන් වැඩ කරනවා. ඉතා දක්‍ෂ කාර්‍ය මණ්ඩලයක් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වෙත සිය සේවය සපයමින් තිබුණා. නමුත් වර්තමානය වෙද්දී පාලනාධිකාරිය විසින් ඔවුන්ගේ අනාගතයත් යම් අවිනිශ්චිත තැනකට ඇද දමලා තිබෙනවා. මේ විදිහේ අඥාණ තීන්දු තීරණ වලට ගුවන් සමාගම හෝ එහි සේවකයින් වගකිවයුතු නැහැ වගේම ආණ්ඩුව කිසිදු හිරිකිතයකින් තොරව මේ ණය බර සමස්ත ජනතාව පිට පටවලා තිබෙනවා.

නිදි කිරා වැටෙන විෂයභාර ඇමතිවරුන්ගේ තීරණ සහ නොමනා දේශපාලන පත්කිරීම් වල අවසාන ප්‍රතිඵලය ඔබ විසින් මෙලෙසින් ගෙවා දමනවා ද​?

Tags