සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඇඟිලි සලකුණු තියන්න බැරි නම් යන්න – කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස

ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාව වුවත් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව තැපැල් වෘත්තීය සමිති අද (19) පස්වරුවේ පැවසුවා.

ඔවුන් මේ බව සඳහන් කළේ ජනාධිපති මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ මහතා සමග පැවැති සාකච්ඡාවෙන් අනතුරුව තැපැල් වෘත්තීය සමිති මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ඉල්ලීම් 19ක් මුල් කර ගනිමින් පසුගිය 17 වනදා සිට තැපැල් වෘත්තීය සමිති මෙලෙස වර්ජනයක නිරත වනවා.

මෙම වර්ජනය හේතුවෙන් දිවයින පුරා සියලු තැපැල් කාර්යාලවල කටයුතු අඩපණ වී තිබෙනවා.

තැපැල් හා විදුලි සංදේශන නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඊ. ජී. සී. නිරෝෂන මහතා අද (19) පැවැති සාකච්ඡාවකින් අනතුරුව සඳහන් කළේ “ඇමතිතුමා එක්ක අපිට වහාම සාකච්ඡාවක් ලබාදෙන්න. ඒ සාකච්ඡාවෙන් අනතුරුව අපි ලෑස්තියි අඛණ්ඩ වැඩවර්ජනය අවසන් කරන්න. එතෙක් අඛණ්ඩ වැඩවර්ජනය ක්‍රියාත්මකයි.”

මේ අතර තැපැල් වර්ජකයන්ගේ ඉල්ලීම් දෙකක් වන ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවත් කිරීම හෝ අතිකාල දීමනා වැඩි කිරීම යන ඉල්ලීම් ඉටු කිරීමට නොහැකි බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයසිංහ මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (19) කැබිනට් තීරණය දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

අදාළ තීරණ අනිවාර්යෙන්ම ක්‍රියාත්මක කරන බවත් ඔවුන්ට සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් සාකච්ඡා කළ හැක්කේ මෙම ඉල්ලීම් දෙකට එකඟවනවා නම් පමණක් බවත් ඔහු මෙහිදී කියා සිටියා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,

“ඉල්ලීම් 19ක් ඉදිරිපත් කරලා තිබුණා. ඇත්තටම තැපැල්පතිවරයත් එක්ක ඊළඟට අපි අමාත්‍යංශ ලේකම්තුමත් එක්ක මේ ගැන සාකච්ඡා තිබුණා. මම දැකපු හැටියට ඔවුන්ට ඒ සාකච්ඡාවලින් ඒ ප්‍රශ්න විසඳා ගැනීමේ එතරම් ඕනවක් තිබුණේ නැහැ. මොකද ඉල්ලීම් 19 ඇතුලේ තිබුණ ඉල්ලීම් 14ක්ම මේ වන විටත් එක්කෝ අපි විසඳලා එහෙම නැත්නම් විසඳමින් ඉන්නවා. ඒ වගේ අවස්තාවක් සම්බන්ධයෙන් සැලකිය යුතු මට්ටමක දුරක් ගිහින් තියෙන්නේ.ඒ වගේම බඳවා ගැනීම පහුගිය අවුරුදු හතේ අටේ වෙන්නේ නැති දේවල් අපි දැන් කරමින් ඉන්නවා. ඒවාට අදාළ කරන කැබිනට් අනුමැතිය ලබාගෙන තියෙනවා. කමිටු අනුමැතිය ලබාගෙන තියෙනවා. බඳවා ගැනීම් සඳහා ඉන්ටර්වීව් පැවැත්වෙනවා. එහෙම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. ඒ අයත් මේක දන්නවා. ඒ වගේම තව තිබෙනවා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් වාහන ප්‍රමාණය වැඩි කරන්න. අපි ඒකට රු.250ක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම තැපැල් දෙපාර්තමේන්තුව නවීකරණය වෙනවා, ඩිජිටල්කරණය වෙනවා සහ අලුත් තැපැල් කාර්යාලවලට මුල් ගල් තැබෙනවා. මුදල් වෙන් කරලා තියෙන්නේ ඒකට මිලියන 600 ක්. තව තැපැල් කාර්‍යාල ප්‍රමාණයක් නවීකරණය කරන්න මිලියන 700ක් වෙන් කරලා තියෙනවා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවට මීට කලින් නොලැබුණු මැදිහත්වීමක් මූල්‍ය පැත්තෙන් සහ තාක්ෂණ පැත්තෙන් කරමින් ඉන්නවා. ඒ නිසා මේ ඉල්ලීම් 19න් 17ක්ම අපි ඉටු කරමින් ඉන්නේ. ඉතින් කවදා ඕන වෙලාවක වාහන අඩුයි කියන එක, සේවකයෝ මදි කියන එක කවදත් ගන්න පුළුවන් සටන් පාඨ. ඒවා විසඳලා ඉවර කරන්න පුලුවන් දේවල් නෙවෙයි. දැන් දෙකක් ඉතුරු වෙලා තියෙනවා. දෙකෙන් එකක් තමයි අතිකාල සම්බන්ධයෙන්. ඒ කියන්නේ රජයේ සමස්ත රජය සේවකයින්ට 2025 අප්‍රේල් පළවෙනිදා සිට මූලික වැටුප් වැඩීමක් කළා. ඒ මූලික වැටුප් වැඩිවීමේ පළවෙනි කොටස අප්‍රේල් ලැබෙනවා. ඊළඟ කොටස ලැබෙනවා එළඹෙන ජනවාරි වල ඉදන්. ඊලඟ කොටස ලැබෙනවා 2027 ජනවාරි වල ඉදලා. ඒකෙදී කිසිදු කෙනෙකුට අසාධාරයක් වුණා කියලා කියන්න බෑ. කවුරුත් ඉල්ලන්නෙ නැතුව හොඳ මූලික වැටුප් වැඩිමීමක් රජය ලබා දුන්නා. ඒ මූලික වැටුප් වැඩීම මත පදනම්ව අති කාල ගණනය කරනවා. එතකොට අප්‍රෙල් මාසය ලැබිච්ච මූලික වැටුප් වැඩිවීමේ පළවෙනි කොටස නෙවෙයි ලබන ජනවාරි ලැබෙන දෙවැනි කොටස මත පදනම් වෙලා නෙවෙයි 2027 ජනවාරි මාසයේ අතට ලැබීමට නියමිත සම්පූර්ණ මූලික වැටුපට අදාළව තමයි අප්‍රේල් මාසේ OT හැදෙන්නේ.”

Tags