සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දිනකට පිළිකා රෝගීන් 100ක් – නලින්ද ජයතිස්ස

මෙරට දිනකට පිළිකා රෝගීන් 100ක් පමණ වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.

ඒ අනුව වසරකට පිළිකා රෝගීන් 35,000ක් පමණ වාර්තා වන අතර, එයින් සම්පූර්ණයේ 35%ක වන ආසන්න වශයෙන් රෝගීන් 13,000ක් මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ආරම්භ කරන්නේ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ මහනුවර, පොල්ගොල්ල ප්‍රදේශයේ සිව්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින්ය.

ඒ අවස්ථාවේ වැඩිදුර අදහස් දක්වමින් ඔහු පැවසූයේ,

  • වසරක ඖෂධ වියදමේ සම්පූර්ණයෙන්ම 30%ක් වැය වන්නේ පිළිකා ප්‍රතිකාර සඳහා වන ඖෂධ සඳහා බව.

  • මෙම තත්ත්වය පාලනය කළ හැක්කේ රෝගය මුල් අවධියේ හඳුනාගැනීමෙන් බව.

  • වයස 30 සිට 70 දක්වා පිරිමි මරණවලට වැඩිම හේතුව වී ඇත්තේ බෝ නොවන රෝගයන් බවත්, කාන්තා මරණවලට වැඩිම හේතුව වී ඇත්තේ පිළිකා බවත්.

අමාත්‍යවරයා තවදුරටත් සඳහන් කළේ, රටේ සංවර්ධනයට දායක වන ප්‍රජාවන් අතරින් ජීවිත අහිමිවීම කනගාටුදායක කරුණක් බවයි.

නව ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන සීමා වන්නේ සෝඛ්‍ය උපදේශන සහ ඖෂධ ලබාදීමට පමණක් නොව, දේශීය හා ආයුර්වේද ප්‍රතිකාර, ශාරිරික ව්‍යායාම, යෝග, සංගීත චිකිත්සාව වැනි ක්‍රියාකාරකම් ද සමග ජනජීවිතය සුවපත් කිරීමටත් යොදාගැනෙන බව ද ඔහු පැවසීය.

මෙම මධ්‍යස්ථාන හරහා ජනතාවට ලබාදීමට නියමිත සේවා අතර මූලික ශල්‍ය වෛද්‍ය සේවා, වැඩිහිටි හා පුනරුත්ථාපන සත්කාර, මානසික හා පෝෂණ උපදේශන, මුඛ සෞඛ්‍ය සහ අක්ෂි සත්කාර, මත්පැන් පුනරුත්ථාපන, තරුණ සත්කාර, රසායනාගාර පරීක්ෂණ සහ ප්‍රජා බලගැන්වීම ඇතුළත්ය.

Tags