දේශීය පුවත්
මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යයට දින නියම වෙයි
2025 කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර මහා මංගල්‍යයට දින නියම කර තිබෙනවා.
දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවසුවේ සතර මහා දේවාලයන්හි සුබ නැකතට කප් සිටුවීමෙන් ජුලි මස 25 වනදා ඇසළ පෙරහැර මංගල්‍යය ආරම්භ කරන බවයි.
මහනුවර ඇසළ පෙරහැර වීදී සංචාරය කරන දින වකවානු දැනුම්දීම සහ ඊට අදාළ සංවිධාන කටයුතු සාකච්ඡා කිරීම වෙනුවෙන් ඊයේ (19) ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවැති සාකච්ඡාවේදී දියවඩන නිලමේවරයා මේ බව සඳහන් කළා.
මේ අනුව දේවාල අභ්‍යන්තර පෙරහැර දින 5ක් පැවැත්වීමෙන් පසුව පළමු කුඹල් පෙරහැර ජුලි 30 වනදා වීදී සංචාරය කෙරෙනු ඇති.
දියවඩන නිලමේවරයා පැවසුවේ කුඹල් පෙරහැර ජුලි මස 30 වනදා සිට අගෝස්තු 03 වනදා දක්වා විදී සංචාරය කිරීමෙන් පසුව අගෝස්තු 4 වනදා පළමු රන්දෝලි පෙරහැර වීදී සංචාරය කරන බවයි.
අවසන් රන්දෝලි මහ පෙරහැර නිකිණි පුන් පොහොය දින (08) රාත්‍රියේ වීදී සංචාරය කිරීමට සැලසුම් කර තිබෙනවා.
මෙම මාධ්‍ය හමුවේදී දියවඩන නිලමේවරයා පැවසුවේ හීලෑ අලි ඇතුන් අවමවීම පෙරහැර පැවැත්වීමට විශාල වශයෙන් බලපාන ගැටළුවක් බවයි.
මීට වසර කිහිපයකට පෙර 200ක්ව සිටි මෙරට හීලෑ ඇතුන් ගණන අද වන විට 90ක් දක්වා පහත වැටී ඇති බවද අනාවරණය වුණා.
