දේශීය පුවත්
තැපැල් සහායක තනතුරට නව බඳවාගැනීම් 731ක්
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවේ ප්‍රථමික ශිල්පීය නොවන සේවා ගණයේ III ශ්‍රේණියේ තැපැල් සහායක තනතුර සඳහා පුද්ගලයින් 731 දෙනෙකු තෝරාගෙන ඇත.
එම තෝරාගත් පිරිස සඳහා ස්ථීර පත්වීම් ලිපි හෙට (ඔක්තෝබර් 06) දින අරලියගහ මන්දිර පරිශ්‍රයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ප්‍රදානය කිරීමට නියමිතය.
2021 වර්ෂයෙන් පසු ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තුවට ස්ථීර තැපැල් සහායක බඳවාගැනීම් සිදු කර නොතිබූ බැවින්, පසුගිය වර්ෂය අවසානයේදී එම දෙපාර්තුමේන්තුව තුළ තැපැල් සහායක පුරප්පාඩු 1,982ක් පැවති බව වාර්තා වේ.
එම පුරප්පාඩු හේතුවෙන් දෙපාර්තුමේන්තුවේ දෛනික කටයුතු පවත්වාගෙන යාම දැඩි අර්බුධකාරී තත්ත්වයකට පත්විය. එනිසා, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ඉල්ලීමක් අනුව, පුරප්පාඩු සංඛ්‍යාවෙන් 1,000ක් බඳවා ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2025 අගෝස්තු 19 දින ලබා දී ඇත.
ඒ අනුව, මේ දක්වා තැපැල් දෙපාර්තුමේන්තුවේ ආදේශක සේවකයින් ලෙස ලියාපදිංචිව සිටි, අවශ්‍ය සුදුසුකම් සම්පුර්ණ කළ පුද්ගලයින් අතරින් 731 දෙනෙකු මෙලෙස ස්ථීර පත්වීම් සඳහා තෝරාගනු ලැබීය.
තවත් තැපැල් සහායකයන් 269 දෙනෙකු ඉදිරියේ දී බඳවා ගැනීම සඳහා අමාත්‍යංශය මේ වන විටත් කටයුතු කරමින් පවතින බවද වාර්තා වේ.
