සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

වැලිගම සභාපති ඝාතනයට වෙඩික්කරු ඇතුළු සැකකරුවන් 9ක් අත්අඩංගුවට

වැලිගම ප්‍රාදේශීය සභාපති ලසන්ත වික්‍රමසේකර මහතා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව වෙඩික්කරු, යතුරුපැදිකරු සහ ඔවුන්ට සහාය දුන් අය ඇතුළු සැකකරුවන් 9 දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ, වෙඩික්කරු, ඔහුගේ බිරිඳ, යතුරුපැදිකරු සහ කැකිරාවේදී සැඟව සිටීමට සහාය දුන් පුද්ගලයින් ඇතුළු සැකකරුවන් 6 දෙනා මේ වනවිට එම කොට්ඨාසයේ අත්අඩංගුවේ පසුවන බවය.

තවත් ත්‍රීරෝද රථ රියදුරෙකු, යතුරුපැදිය අලුත්වැඩියා කළ ගරාජ් හිමිකරුවෙකු සහ එම යතුරුපැදිය ඝාතනයට භාවිතා කළ පිරිසට ලබාදුන් තරුණයෙකුද වැලිගම සහ මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන්ගෙන් වෙඩික්කරු ඇතුළු 6 දෙනා පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලැබ තිබේ. එසේම මාතර මහේස්ත්‍රාත් අධිකරණයද අනෙක් සැකකරුවන් තිදෙනා පැය 48ක් රඳවාගෙන විමර්ශනය කිරීමට අවසර ලබා දී ඇත.

මෙම ඝාතන පරීක්ෂණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය, වැලිගම පොලීසිය සහ මාතර පොලීසිය එක්ව සිදු කරයි.

Tags