සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

රනිල්ව අද අධිකරණයට ඉදිරිපත් නොකිරීමේ තීරණයක්?

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව තවදුරටත් දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය නිරීක්ෂණය මත තබා ගත යුතු බවට නිර්දේශ නිකුත් කර ඇති හෙයින් බොහෝ දුරට අද (26) අධිකරණයට ඉදිරිපත් කිරීම නොහැකි වනු ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් වීරසිංහ මහතා පවසනවා.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ මාධ්‍ය වෙත වෙත විශේෂ ප්‍රකාශයක් සිදුකරමින්.

ZOOM තාක්ෂණය ඔස්සේ හෝ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව නීති කෘත්‍ය සඳහා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළ හොත් ඊට අවශ්‍ය කටයුතු සම්පාදනය කළ හැකි බවද ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවා.

රාජ්‍ය මුදල් අවභාවිත කිරීමේ සිද්ධියකට අදාළව පොදු දේපල පනත යටතේ වන චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව අද (26) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවීමට නියමිතව තිබෙනවා.

සිද්ධියට අදාළව පසුගිය 22 වනදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද (26) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදිනම ඒ මහතා බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

දැනට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ඒ අනුව ඔහු අද (26) දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදු කරන අතර අද (26) දිනයේ අධිකරණයට ඉදිරිපත් කරනවාද? නැද්ද? යන්න එම කමිටුව විසින් නිර්දේශ ඉදිරිපත් කරන බව වාර්තා වනවා.

Tags