දේශීය පුවත්
2026 සිට 1 සහ 6 ශ්‍රේණි සඳහා නව විෂයමාලා ප්‍රතිසංස්කරණයක්
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත 1 ශ්‍රේණිය සහ 6 ශ්‍රේණිය සඳහා වන නව විෂයමාලා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමේ උපදෙස් සංග්‍රහය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇත.
මෙම ප්‍රතිසංස්කරණ 2026 වසරේ සිට ක්‍රියාත්මක වන අතර, එය රජයේ විෂයමාලා නවීකරණ වැඩසටහනක අංගයක් ලෙස සලකනු ලබයි.
නව පද්ධතිය යටතේ ප්‍රාථමික අධ්‍යාපනය අවධි තුනකට වෙන් කර ඇති අතර, 1 සිට 5 ශ්‍රේණි දක්වා සිසුන් මව් භාෂාව, ඉංග්‍රීසි, දෙවන ජාතික භාෂාව, ගණිතය, ආගම, විද්‍යාව, සෞන්දර්ය, සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ඇතුළු විෂය ක්ෂේත්‍ර 9ක් යටතේ අධ්‍යාපනය ලබනු ඇත.
එමෙන්ම, 6 ශ්‍රේණිය සිට ක්‍රියාත්මක වන කණිෂ්ඨ ද්විතීක අධ්‍යාපනයේදී නව විෂයන් තුනක් (තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය, ජීවිතය සඳහා තාක්ෂණය සහ ව්‍යවසායකත්වය හා මූල්‍ය සාක්ෂරතාව) හඳුන්වාදීමට නියමිතය.
පළමු ශ්‍රේණියේ සිසුන්ට පෙළපොත් වෙනුවට ක්‍රියාකාරකම් පොත් ලබාදීමටත්, 5 සහ 6 ශ්‍රේණි සඳහා පාසල් කාලය පෙරවරු 7.30 සිට පස්වරු 2.00 දක්වා පවත්වා ගැනීමටත් සැලසුම් කර ඇත.
අමතරව, 2027 වසරේ සිට පෙරපාසල් සඳහා එකම විෂයමාලා රාමුවක් හඳුන්වාදීමට රජය සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළාය.
