දේශීය පුවත්
ඉෂාරා සෙව්වන්දිගේ ගිණුමකට රුපියල් 50,000ක් බැර කළ පුද්ගලයෙක් රක්ෂිත බන්ධනාගාරයට
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ බැංකු ගිණුමකට රුපියල් 50000ක මුදලක් බැර කළ බවට කියන සිද්ධියක් පිළිබඳව අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ (16) මෙම නියෝගය ලබාදුන් බවයි.
කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය හමුවට ඉදිරිපත් කෙරුණා.
මෙහිදී කොළඹ අපරාධ කොට්ඨායේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ මෙම සැකකරු විසින් ඉෂාරා සෙව්වන්දි නැමැත්තියගේ බැංකු ගිණුමට මුදල් සම්ප්‍රේෂණය කර ඇති බවයි.
මෙම ඝාතනය සිදුවූ සමයේ දී මෙම මුදල් තැන්පත් කිරීම සිදු කර ඇති බවත් සැකකරුගේ ගිණුමට මෙම මුදල් මාර්ගගත ක්‍රමයට තැන්පත් කර තිබෙන බවත් පොලීසිය මෙහිදී පැවසුවා.
පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ එම සැකකරුට මෙම මුදල් ලැබුනේ පාතාල කල්ලි සාමාජිකයින්ගෙන් දැයි සොයා බැලීම සඳහා විමර්ශනය සිදු කරන බවත් එම විමර්ශන කටයුතු අවසන් වී නොමැති හෙයින් ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත්ය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය අදාළ සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනු ලැබුවා.
