සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

BREAKING – දේශබන්දු ධුරයෙන් ඉවත් කරන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

දේශබන්දු තෙන්නකෝන්, පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සදහා වන යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

ඊට අදාළ යෝජනාව අද (05) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණා.

එහිදී දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා පැවැති ඡන්ද විමසීමේදී යෝජනාවට පක්ෂව ඡන්ද 177ක් සහ විරුද්ධව කිසිඳු ඡන්දයක් ලැබී තිබුණේ නැහැ.

එක් මන්ත්‍රීවරයෙක් යෝජනාවට ඡන්දය දීමෙන් වැළැකී සිටියා.

තෙන්නකෝන් මහතාට එල්ල වී ඇති චෝදනාවලට ඔහු වරදරකරු කර ඇති බව පසුගියදා පාර්ලිමේන්තුවේදී අනාවරණය වුයේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විසින් දේශබන්දු තෙන්නකෝන් පිළිබඳව විමර්ශනය කළ අදාළ කමිටුවේ වාර්තාව සභාගත කළ අවස්ථාවේදීයි.

මේ අනුව ඔහුව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සුදුසු බව එම කමිටුව ඒකමතිකව නිර්දේශ කර තිබුණා.

පොලිස්පති ධූරයේ බලතල අනිසි ලෙස යොදා ගැනීම හා විෂමාචාර පිළිබඳව තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා.

මේ අනුව ඔහුව ධුරයෙන් ඉවත් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් පත් කිරීමේ යෝජනාව අප්‍රේල් මස 08 වනදා පාර්ලිමේන්තුවේදී සම්මත වූණා.

ඒ 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ පනත යටතේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් ගෙනා යෝජනාවකට අනුවයි.

මෙලෙස පත් කළ කමිටුවේ සභාපති ලෙස වත්මන් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා කටයුතු කළ අතර එහි සෙසු සාමාජිකයින් ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු නීල් ඉද්දවෙල සහ ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායක නම් කෙරුණා.

මේ අනුව චෝදනා 23ක් යටතේ දින 13ක් දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව කමිටුව සාක්ෂි විමසනු ලැබුවා.

පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලට අනුව මෙවැනි යෝජනාවකින් පොලිස්පතිවරයෙකු නෙරපා හැරෙන ලංකා ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වනු ඇති.

Tags