දේශීය පුවත්
මහින්ද රාජපක්ෂට ලබාදුන් වෙඩි නොවදින රථය යළි භාරදෙයි
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරක්ෂාව සඳහා ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා සඳහන් කළේ, ඊයේ (03) දිනයේදී එම රථය අදාළ සමාගම හරහා භාරදීම සිදු වූ බවයි.
ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත ක්‍රියාත්මක වූ පසු, ජනාධිපති ලේකම්වරයා විසින් පසුගිය සැප්තැම්බර් 24 වැනිදා 5වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල වාහන සහ නිල නිවස භාරදෙන ලෙස දැනුම් දී තිබුණා.
ඒ අනුව, ආරක්ෂක නිලධාරීන් ගමන්ගන්නා රථයද යළි භාරදීමට කටයුතු කර ඇති බව මනෝජ් ගමගේ මහතා පවසා ඇත.
ඔහු පෙන්වා දුන්නේ, මෙම තත්ත්වය හේතුවෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට අවදානමක් ඇතිව ඇති බවත්, ඉදිරි සතියේදී පොලිස්පති, ආරක්ෂක ලේකම් සහ ආරක්ෂක ප්‍රධානීන් හමුවී එම අවශ්‍ය රථය යළි ලබා ගැනීම සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඔවුන් සැලසුම් කර ඇති බවත්ය.
