සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා CID අත්අඩංගුවට

අනුරාධපුර බන්ධනාගාරයේ අධිකාරිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් ඊයේ (08) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අත්අඩංගුවට ගැනීම සිදුව ඇත්තේ ජනාධිපති පොදු සමාව අනීතික ලෙස භාවිත කර වෙනත් සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව සිදුකරන විමර්ශනයට අදාළවයි.

රුපියල් ලක්ෂ 40ක් වංචා කර සාවද්‍ය ලෙස පරිහරණය කිරීමේ චෝදනාවකට අනුරාධපුර මහාධිකරණය මඟින් වරදකරුකර සිරදඬුවම් නියම කර සිටි විත්තිකරුවෙකු නිදහස් කිරීමට අනුබල දීමේ චෝදනාවට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

එම අධිකාරිවරයා උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරුවරියට ලිඛිත දැනුම් දීමක් මඟින් අදාළ සිරකරුවා ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කර ඇති බවද වාර්තා වනවා.

මේ අනුව අධිකරණය මඟින් වරදකරු කර දඬුවම් නියම කර සිටි W. M. අතුල තිලකරත්න නැමැති විත්තිකරුවෙකු පසුගිය මැයි 12 වනදාට යෙදී තිබූ වෙසක් පෝය දා ජනාධිපති සමාව යටතේ නිදහස් කර මුදාහැර ඇති බව සඳහන්.

බන්ධනාගාර අධිකාරිවරයාගේ මෙම කරුණු දැක්වීම් සැලකිල්ලට ගෙන උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු ලක්මාලි හේවාවසම් මෙනවිය අදාළ විත්තිකරුව නිදහස් කර මුදා හරින ලෙස නියෝග කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අද (09) අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tags