දේශීය පුවත්
උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුමේදී සොයාගත් රන් ආයිත්තම් හත් දහසකට අධික ප්‍රමාණයක් මහ බැංකුවට භාරදුන් බව CID පවසයි
උතුරු සහ නැගෙනහිර මානුෂීය මෙහෙයුමකදී යුද හමුදාව විසින් සොයාගත් රන් ආයිත්තම් දස දහසකින්, හත් දහසකට අධික ප්‍රමාණයක් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත භාරදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ඊයේ (07) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම තොරතුරු CID විසින් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් කර තිබේ. එය, අදාළ රන් ආයිත්තම් සියල්ලම කිරා මැන බලා ඒවායේ රන් ප්‍රමාණය සහ බර සම්බන්ධ සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කලින් ලබාදුන් අධිකරණ නියෝගයකට අනුව ගොනු කළ වැඩිදුර වාර්තාවකි.
යුද සමයේදී කොටි සංවිධානය පවත්වාගෙන ගිය කඳවුරු සහ නීති විරෝධී බැංකු වැනි ස්ථානවලින් මෙම රන් භාණ්ඩ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂ මණ්ඩලය මගින් සොයාගත් බවත් CID විසින් අධිකරණයට දැනුම් දී ඇත.
මෙම රන් භාණ්ඩ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් සුහර්ෂි හේරත් මහත්මිය මීට පෙර අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබුණි. එම නියෝගය අනුව රන් භාණ්ඩ තොගය ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය වෙත යොමු කර වැඩිදුර පරීක්ෂණ සිදු කෙරිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා, මහ බැංකුවට භාරදී ඇති එම රන් ආයිත්තම් සුරක්ෂිතව සේප්පුවල තැන්පත් කිරීමට CID වෙත නියෝග කරමින්, සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන වාර්තාද අධිකරණයට ඉදිරිපත් කරන ලෙස උපදෙස් දී ඇත.
