සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

ඇල්ල වැල්ලවායේ මාරක රිය අනතුරින් මියගිය පුද්ගලයින් ගණන 15 දක්වා ඉහළට

ඇල්ල වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වන විට මියගිය පුද්ගලයින් ගණන 15ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

අනතුරින් තවත් පුද්ගලයින් 18 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලීසිය පැවසුවේ මියගිය පුද්ගලයින් අතර කාන්තාවන් 9 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙක් සිටින බවයි.

ඊට අමතරව පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් 7 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති අතර එම පිරිසට ළමුන් 5 දෙනෙකුද අයත් වනවා.

විනෝද චාරිකාවක් ගොස් යළි පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බස් රථයක් මීටර් 200ක පමණ ප්‍රපාතයකට පෙරලී මෙම අනතුර සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ තංගල්ල නගර සභාවේ සේවකයින් පිරිසක් රැගත් බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

පුද්ගලයින් මුදා ගැනීම සඳහා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව, ගිනි නිවීමේ සේවා දෙපාර්තමේන්තුව සහ ප්‍රදේශවාසීන් එක්ව තිබුණා.

අනතුර සිදුවන අවස්ථාවේ දී පුද්ගලයින් 30 දෙනෙක්ට වැඩි පිරිසක් බස් රථය තුළ සිට ඇති බව වාර්තා වනවා.

පොලීසිය වැඩිදුරටත් පැවසුවේ බස් රථය අනතුරට පත් ස්ථානයේ පැවැති දැඩි බැවුම් සහිත තත්ත්වය හේතුවෙන් පිරිස මුදා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බවයි.

Tags