සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

2026 අයවැයට දින තීන්දු වෙයි

2026 වර්ෂයට අදාළව විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම නොහොත් අයවැය කතාව 2025 නොවැම්බර් 7 වනදා සිදු කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අමතරව නොවැම්බර් මස 8 සිට දෙසැම්බර් 5 දක්වා අයවැය විවාදය පැවැත්වීමට ද තීරණය කර ඇති බව සඳහන්.

මෙම තීරණය ගෙන ඇත්තේ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (11) පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීයි.

පාර්ලිමේන්තු මහලේකම්වරිය පැවසුවේ මේ අනුව විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම සඳහා සැප්තැම්බර් 26 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි.

මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 නොවැම්බර් 7 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම සිදු කිරීමටත් පසුව නොවැම්බර් 8 සිට නොවැම්බර් 14 දක්වා දින 6ක් දෙවනවර කියවීමේ විවාදය පැවැත්වීමටත් මෙහිදී තීරණය කර තිබෙනවා.

මේ අනුව නොවැම්බර් මස 14 වනදා ප.ව. 6ට දෙවනවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වෙනවා.

නොවැම්බර් මස 15 වනදා සිට දෙසැම්බර් 5 වනදා දක්වා දින 17ක් කාරක සභා අවස්ථාවේ විවාදය පැවැත්වීමටත් දෙසැම්බර් 5 ප.ව. 6ට අයවැය තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමටත් මෙහිදී එකඟතාව පළකර තිබෙනවා.

අදාළ කාල සීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා හැර සෙනසුරාදා දින ඇතුළුව සෑම දිනකම අයවැය විවාදය පැවැත්වෙනවා.

තවද කාරක සභා අවස්ථාවේ විවාද කාල සීමාව තුළ පාර්ලිමේන්තුව සඳුදා දිනවල පෙ.ව. 9.30ටත් අන් සෑම දිනකම පෙ.ව. 9ටත් රැස්වීමට මෙහිදී තීරණය වී තිබෙනවා.

Tags