සොයන්න
උණුසුම් පුවත්

විශේෂාංග

සලමන් ඛාන් ඝාතන තැත – පසු විපරම​

1998 දී, බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන් සහ බිෂ්නෝයිවරුන් අතර වසර 26 ක් තිස්සේ ඇදීයන​ ආරවුලක මූලාරම්භය​ සනිටුහන් කරනු ලබන​ සිදුවීමක් සිදුවිය. මෙම ගැටුම ජෝද්පූර්හි ඉන්දියානු ගෝත්‍රයක් වන බ්ලැක්බක් නැමැති මුව වර්ගයයට ඉතා ගෞරවයෙන් සලකන බිෂ්නෝයි ප්‍රජාව වෙත යා කෙරෙන්නක් ය​. ඔවුන් එම මුව වර්ගයට කරනු ලබන ගෞරවය කොතෙක් ද යත් ඔවුන්ගේ අධ්‍යාත්මික විශ්වාසයන්ට අනුව, බ්ලැක්බක්ස් ජම්බාජි ලෙසද හඳුන්වන ගුරු භගවාන් ජම්බේෂ්වර්ගේ පුනරුත්පත්තිය ලෙස සැලකේ.

රාජස්ථානයේ “Hum Saath Saath Hain” චිත්‍රපටයේ රූගත කිරීම් අතරතුර, සල්මන් ඛාන් කන්කානි ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස බ්ලැක්බක් සතුන් දෙදෙනෙකු දඩයම් කර මරා දැමූ බවට චෝදනා එල්ල විය. 1972 ඉන්දියානු වනජීවී ආරක්ෂණ පනතේ 9/51 වගන්තිය යටතේ චෝදනා ලැබූ ඔහු අවසානයේ ජෝද්පූර් අධිකරණය විසින් වරදකරු කරනු ලැබීය. සංරක්ෂිත සතුන් නීතිවිරෝධී ලෙස දඩයම් කිරීම සම්බන්ධයෙන් වරදකරු වුවද, සල්මන් ඛාන් නිදහස්ව සිටීම, ඔහුගේ ධනය සහ සම්බන්ධතා පිළිබඳ සාක්ෂියක් වන අතර, බොහෝ දෙනා විශ්වාස කරන්නේ නීතිය ඔහුට එදිරිව ක්‍රියාත්මක වීම​ සම්පූර්ණයෙන්ම වළක්වා ඇති බවය.

කෙසේ නමුත් මෙම නොවිසඳුණු ප්‍රශ්නය බිෂ්නෝයි ප්‍රජාවගේ මහත් කෝපයට හේතු වී ඇත​.

බිෂ්නොයිවරුන් අතර ලෝරන්ස් බිෂ්නෝයි සැලකිය යුතු චරිතයක් බවට පත්ව ඇත. 1993 පෙබරවාරි 12 වැනි දින උපත ලද ඔහු බ්ලැක්බක් සිද්ධිය සිදු වන විට වයස අවුරුදු පහක දරුවෙක්ය. ඔහු වනාහි නූගත් මැරයෙකු නොව​ පන්ජාබ් විශ්ව විද්‍යාලයේ නීති උපාධිධාරියෙක් ය​. 2010 සිට 2012 දක්වා ශිෂ්‍ය දේශපාලනයේ යෙදී සිටියදී ඔහුට එරෙහිව මුල්ම අපරාධ චෝදනා එල්ල වී ඇත. මෙම කාලය තුළ සිරගතව සිටියදී බොහෝ අපරාධකරුවන් සමඟ සබඳතා ගොඩනඟා ගත් ඔහු පසුව ආයුධ ජාවාරමට සම්බන්ධ වූ අතර ඔහුගේ විශ්ව විද්‍යාල කාලය තුළ කුප්‍රකට කල්ලියක් ගොඩනඟා ගත්තේය.

ලෝරන්ස් බිෂ්නෝයි (lawrence bishnoi)

දැනට ලෝරන්ස් බිෂ්නෝයි බිහාර් හි සිරගතව සිටින නමුත්, ඔහුගේ අපරාධ ජාලය ඉන්දියානු ප්‍රාන්ත පහක් පුරා විහිදෙන අතර ඛලිස්තාන් හිතවාදී කණ්ඩායම් වල​ සහාය ද ඇතුළත් ය​. ඔහුගේ කල්ලිය තියුණු වෙඩික්කරුවන් 700 කින් පමණ​ සමන්විත වන අතර, තවමත් ක්‍රියාකාරීව පවතී. බිෂ්නෝයිගේ සාපරාධී ක්‍රියාකාරකම්වලට දේශපාලන ඝාතන සහ නීතිවිරෝධී මත්පැන් වෙළඳාම ඇතුළත් වන අතර, 2014 දී ඔහු සිරගත වන්නේ රාජස්ථාන් පොලීසිය සමග ඇතිවන වෙඩි හුවමාරුවක් හේතුවෙන් ය​. කෙසේ වෙතත් බිෂ්නෝයි විවිධ අපරාධවලට සම්බන්ධ බවට එල්ල වන චෝදනා නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළේය.

2018 දී බ්ලැක්බක් නඩුව සම්බන්ධයෙන් බිෂ්නෝයිගේ නම නැවත මතු විය. ජෝද්පූර්හි කප්පම් නඩුවකට උසාවියට ​​පැමිණෙමින් සිටියදී ඔහු සල්මන් ඛාන් මරා දැමීමේ අභිප්‍රාය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය. “ඔහුට බිෂ්නොයිවරුන්ගේ සැබෑ අනන්‍යතාවය දැනගත හැකි වේවි. පොලිසිය මාව දරුණු අපරාධකරුවෙකු කළේ බොරු නඩු වලට කොටු කරල​යි. මම ජෝද්පූර්හිදී සල්මන් ඛාන්ව මරනවා.”

මෙම ප්‍රකාශය නළුවාට එරෙහිව ඝාතන කුමන්ත්‍රණ මාලාවක ආරම්භය සනිටුහන් කළේය. ජූනි 1 දා, ධනංජය නොහොත් අජේ කාශ්‍යප්, ගරුව් භාටියා, වසීම් ඛාන් නොහොත් වසිම් චික්නා සහ රිස්වාන් ඛාන් නොහොත් ජාවෙඩ් ඛාන් ඇතුළු කුමන්ත්‍රණකරුවන් පිරිසක්  මුම්බායි පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන්ගේ සැලසුම වූයේ පකිස්තානයේ සිට හොර රහසේ ගෙන එන ලද ආයුධ යොදාගෙන සල්මන් ඛාන් ඔහුගේ පන්වෙල් ගොවිපොළේදී ඝාතනය කිරීමෙන් පසුව කන්‍යාකුමාරි සිට ශ්‍රී ලංකාවට ධීවර බෝට්ටුවක් හරහා පැනයාමය​.

සලමන් ඛාන් හට මේ වන විට නිදහසේ දිවි ගෙවීමට වපසරියක් බිෂ්නෝයි කල්ලිය විසින් සලස්වා දී නැත​. ඉන්දීය පොලීසිය සඳහන් කර සිටින්නේ බිෂ්නෝයි කල්ලියට සම්බන්ධ තරුණයන් 60-70ක් අතර පිරිසක් සල්මන් ඛාන් පිළිබඳව ඔත්තු බලමින් අවධානයෙන් පසුවන බවය​.

සලමන් ඛාන් ඝාතනයට තැත් කරන​ කුමන්ත්‍රණකරුවන්ගෙන් එක් අයෙකු වන අජේ කාශ්‍යප් විසින් වීඩියෝ ඇමතුමක් මගින් ඩෝගාර් නම් පුද්ගලයෙකුගේ සම්බන්ධතාවයක් හරහා පාකිස්තානයෙන් AK-47 රයිෆල් ඇණවුම් කර ඇත. මේ අතර, බිෂ්නෝයිගේ කල්ලියට සම්බන්ධ තුවක්කුකරුවන් දෙදෙනෙකු වන විකී ගුප්තා සහ සාගර් පල් පසුගිය​ අප්‍රේල් 14 වන දින සලමන්ගේ බන්ද්‍රා නිවස වන Galaxy Apartments හිදී ඔහුට වෙඩි තැබීමට උත්සාහ කිරීමත් සමඟ සල්මන් ඛාන්ගේ ආරක්ෂාව වඩාත් තර්ජනයට ලක් විය. පසුව ඔවුන් ගුජරාටයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ වෙඩි තැබීමට අදාළ​ CCTV දර්ශනවල විශ්ලේෂණයෙන් ය​.

තවත් කුමන්ත්‍රණකරුවෙකු වන අනුජ් තපන් ද අවි සැපයීම සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේදී අත්අඩංගුවට ගනු ලැබීය. කෙසේ වෙතත්, මැයි 1 වන දින, තපන් මුම්බායි පොලිස් ස්ථානයේ සිරමැදිරියක වැසිකිළියක් තුල​ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයා ගන්නා ලදී. 

මෙම ඝාතන උත්සාහයන් නොතකා, සල්මන් ඛාන් වසර 26ක් නීතිමය ප්‍රතිවිපාක මගහැර, බොහෝ දුරට ඔහුගේ මූල්‍ය බලය සහ බලගතු සම්බන්ධතා හේතුවෙන් 59 හැවිරිදි වියෙහි පසුවන​ මිනිසෙකු ලෙස දිවි ගෙවමින් සිටී. කෙසේ වෙතත්, බිෂ්නෝයිගේ කල්ලියෙන් එල්ල වන තර්ජනය ඔහුගේ ජීවිතය නිරන්තර භීතියක් බවට පත් කර, ඔහුට සාමය අහිමි කර ඇත. දඬුවමෙන් වැළකී සිටීමට සමත් වූ සල්මන් ඛාන් ද නැතහොත් බිෂ්නෝයි විසින් ඔහුට අනුව​ යුක්තිය පසිඳලීම උදෙසා කරනු ලබන​ නිර්දය ලුහුබැඳීම ජයගනීවිදැයි යන්න කාලයට නිර්ණය කිරීමට ඉඩ තැබිය යුතුව ඇත​..

Tags