දේශීය පුවත්
අමෙරිකානු තීරු බද්ද ගැන සාකච්ඡා ZOOM ඔස්සේ
අමෙරිකාවේ බලධාරීන් විසින් යෝජනා කර තිබෙන නව තීරු බදු පිළිබඳව ZOOM තාක්ෂණය ඔස්සේ සාකච්ඡා වටයක් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇති බව වාර්තා වනවා.
මේ අනුව අමෙරිකාවේ සිටින ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ අමෙරිකාවේ බලධාරීන් සමඟ සාකච්ඡාවට එක්වන අතර ශ්‍රී ලංකාවේ සිට එම බදු පිළිබඳව සාකච්ඡා කිරීමට පත් කළ කමිටු සාමාජිකයෝ සූම් තාක්ෂණය ඔස්සේ හෙට (19) සාකච්ඡා කිරීමට නියමිතයි.
කම්කරු සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, මුදල් ලේකම් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, මහ බැංකුවේ අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ, ජනාධිපති ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව ඇතුලු කිහිප දෙනෙක් ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ සාමාජිකත්වය දරනු ලබනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා ලොව රටවල් 70කට තීරු බදු අනුපාත වැඩි කිරීමට යෝජනා කළ අතර ශ්‍රී ලංකාවට මුලින් 44%ක අතිරේක තීරු බද්දක් යෝජනා කළා.
පසුව දෙරටේ නියෝජිතයින් සාකච්ඡා හේතු කොට ගෙන 30% දක්වා අඩු කර ගැනීමට හැකි වුණා.
ආසියා කලාපයේ වැඩිම ප්‍රතිශතයකින් තීරු බද්ද අඩු කර ගැනීමට සමත් වූ රට ශ්‍රී ලංකාව වන අතර එය දුරටත් පහත හෙලා ගැනීම සූම් තාක්ෂණය ඔස්සේ පවත්වන සාකච්ඡාවේ අරමුණ වී තිබෙනවා.
ඊට අමතරව අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර විදේශ වෙළෙඳාම වැඩි දියුණු කර ගැනීම සහ වෙළෙඳ පරතරය අඩු කර ගැනීම සම්බන්ධයෙන් වූ නව යෝජනා මෙහිදී සාකච්ඡාවට භාජනය කරනු ඇති.
