දේශීය පුවත්
හදිසි දුම්රිය වර්ජනය කල් යයි
උසස් වීම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කර ගනිමින් අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩ වර්ජනය සති දෙකක කාලයක් සඳහා කල් දමා තිබෙනවා.
දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් කේ.ඩි. දුමින්ද ප්‍රසාද් මහතා පැවසුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේ මැදිහත් වීම මත දුම්රිය සාමාන්‍යධිකාරීවරයා සමඟ පැය 3ක පමණ කාලයක් පුරා පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත් බවයි.
මෙහිදී ඇතැම් කරුණු සඳහා අද (19) දින තුළම විසඳුම් හිමි වූ බවත් අනෙක් කරුණු සඳහා සති දෙකක කාලයක් ලබාදුන් බවත් ඒ මහතා සඳහන් කළා.
ඔහු පෙන්වා දෙන්නේ මහජනතාවට සිදුවන අපහසුතාවය සම්බන්ධව සිතා ඇතැම් කරුණු සඳහා විසඳුම් ලබාදීමට බලධාරීන්ට තම සංගමය විසින් ද සති දෙකක කාලයක් ලබාදීමට එකඟ වූ බවයි.
ඉල්ලීම් 11ක් ඉදිරිපත් කර ඇති අතර ඉන් ඉල්ලීම් 7කට ආසන්න ප්‍රමාණයකට පිළිගත හැකි විසඳුම් හිමිවූ බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ලේකම් වැඩිදුරටත් සඳහන් කළා.
