දේශීය පුවත්
තොරතුරු කොමිසමට සභාපතිවරයකු පත් කිරීමේ නියෝගයක් නිකුත් කරන්න ලෙස ඉල්ලා FR පෙත්සමක්
ශ්‍රී ලංකා තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත් කරන ලෙස ජනාධිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මුලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.
ජනමාධ්‍යවේදියෙක් සහ දැයට සවිය ආයතන විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ජනාධිපතිවරයා, ජනාධිපති ලේකම්වරයා, කථානායකවරයා ඇතුළු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයින් සහ නීතිපති ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා තොරතුරු කොමිසමේ සභාපති ධුරය මාස 6කට ආසන්න කාලයක් පුරප්පාඩුව පවතින බවයි.
එම කොමිසමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ ඉල්ලා අස්වීමෙන් පසුව මෙම පුරප්පාඩුව හටගෙන බවද පෙත්සම්කරු මෙහිදී සඳහන් කර තිබෙනවා.
තවද ඔහු සිය පෙත්සමෙන් පෙන්වා දෙන්නේ තොරතුරු කොමිසම සඳහා සභාපතිවරයෙකු පත්වීම් කිරීමේ බලය ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණ ද එම පුරප්පාඩුව සඳහා වැඩබලන සභාපතිවරයෙකු හෝ පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර නොමැති බවයි.
මේ අනුව තොරතුරු ඉල්ලීම්වලට අදාළව අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවද එම පෙත්සමේ සඳහන්ව තිබෙනවා.
මෙමඟින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස සහ පුරප්පාඩුව පවතින අදාළ කොමිසමේ සභාපති ධුරය සඳහා සුදුසු අයෙකු නම් පත්කරන ලෙස ජනාධිපතිවරයාට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ සමාජිකයින් වෙත නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරුවන් අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන්.
