දේශීය පුවත්
දේශබන්දු ගැන විමර්ශනය කළ කමිටු වාර්තාව මේ මාසයේදී කතානායකට
වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කරන මැතිසභාවේ ත්‍රිපුද්ගල කමිටුවේ විමර්ශන බොහෝ දුරට මේ මස අවසන් කිරීමට නියමිතව තිබෙනවා.
විමර්ශනය අවසන් වීමෙන් අනතුරුව කමිටු වාර්තාව කමිටුවේ සභාපතිවරයා විසින් කතානායකවරයාට භාරදෙනු ඇති.
පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේ කමිටුවේ වාර්තාව පරික්ෂා කිරීමෙන් අනතුරුව කතානායකවරයා විසින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
මේ අතර සිය ලිඛිත දේශනා ලබන 8 වනදා අඟහරුවාදා ඉදිරිපත් කරන ලෙස පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව චෝදනා විමර්ශනය කරන මැතිසභා ත්‍රිපුද්ගල කමිටුව වග උත්තරකාර සහ පැමිණිලි පාර්ශවවලට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව දෙපාර්ශයේම ලිඛිත දේශන එදින පස්වරු 3.30ට පෙර පරීක්ෂණ කමිටුවට ඉදිරිපත් කළ යුතු වනවා.
පොලිස්පතිවරයාට එරෙහි චෝදනා සම්බන්ධයෙන් දෙපාර්ශවයේම සාක්ෂි වීමසීම පසුගියදා අවසන් වුණා.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා මෙම කමිටුවේ සභාපති ධුරය දරන අතර එහි අනෙක් සාමාජිකයින් වන්නේ අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපති විශ්‍රාමික විනිසුරු නීල් ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක යන මහත්වරු කටයුතු කරනු ඇති.
