දේශීය පුවත්
වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිගේ සියළු වත්කම් තහනම් කිරීමට නියෝග
කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාළව අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් වී, අධිකරණය මග හරිමින් සිටින වැලිකන්ද පොලීසියේ හිටපු ස්ථානාධිපතිවරයාගේ දේපළ තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය ඊයේ (26) නියෝග කර තිබුණා.
බලපත්ර නොමැතිව ප්රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගන්නා ලද කිරි ගවයන් 20 දෙනෙකු 2024 සැප්තැම්බර් මස 23 වනදා වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා විසින් පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර, එම කිරි ගවයන් සියළු දෙනා රජයට අයත් සත්ත්ව ගොවිපලකට භාරදෙන ලෙසට මහේස්ත්රාත්වරයා නියෝග කර තිබෙනවා.
කෙසේ වෙතත් අදාළ කිරි ගවයින් යළි ජාවාරම්කරුවන්ටම භාරදීමට එවක වැලිකන්ද පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇති බවට අධිකරණයට නිර්නාමිකව ලිපියක් ලැබී තිබූ අතර, එම නිලධාරියා අත්අඩංගුවට ගන්නා ලෙස පොළොන්නරුව මහේස්ත්රාත් අධිකරණය ඉකුත් 11 වනදා නියෝග කර තිබුණා.
කෙසේ නමුත් ඔහු අසනීප නිවාඩු වාර්තා කර සැගවී අධිකරණය දිගින් දිගටම මග හරිමින් සිට තිබෙනවා.
වරෙන්තුකරුට අයත් සියලු නිශ්චල සහ චංචල දේපළ තහනම් කර අධිකරණයට භාර ගැනීමට නියෝග කෙරුණු අතර, ඔහු ශ්රී ලංකාව තුළ සහ ඉන් පිටත පවත්වාගෙන යන සියලු ගිණුම්වල පවතින තැන්පතු මුදල් තහනම් කර අධිකරණයට යොමු කරන ලෙසට ශ්රී ලංකා මහ බැංකු අධිපතිවරයාට නියෝග කර ඇති බවත් ලබා දුන් තීන්දුවේ වැඩිදුරටත් සඳහන්.
