දේශීය පුවත්
ඥානසාර හිමි රිමාන්ඩ් කළ සිද්ධියේ සම්පූර්ණ විස්තරේ
වරෙන්තු නිකුත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගත් බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි හෙට (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද (04) පස්වරුවේ නියෝග කළේය.
උන්වහන්සේ හෙට දින අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අධිකරණය නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා අතුරුදන්වීමට අදාළ නඩුව 2016 වසරේ ජනවාරි මස 25 වැනිදා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගයටගත් අවස්ථාවේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අධිකරණයේ අවසර නොගෙන ඇමතීම සහ අධිකරණයට බාධා වන ආකාරයෙන් හැසිරෙමින් අධිකරණයට අපහාසයක් සිදුකළ බවට චෝදනා කරමින් එවක හෝමාගම මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
එම පැමිණිල්ල විභාග කළ එවක අභියාචනාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා ප්‍රමුඛ විනිසුරු මඩුල්ලක් 2018 වසරේ මැයි 24 වැනිදා, අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ඥානසාර හිමි වරදකරු කරමින් උන්වහන්සේට බරපතළ වැඩ සහිත වසර 19ක සිරදඬුවම් නියම කළේ එම සිරදඬුවම වසර 06කින් ගෙවී යන ආකාරයෙනි.
කෙසේවෙතත්, 2019 වසරේ මැයි 23 වනදා එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උන්වහන්සේට ජනපති පොදු සමාව ප්‍රදානය කළේය.
ඊට එරෙහිව ප්‍රගීත් එක්නැලිගොඩගේ බිරිඳ සන්ධ්‍යා එක්නැලිගොඩ ඇතුළු පාර්ශ්ව කිහිපයක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් සැප්තැම්බර් මාසයේ විභාගයට ගැනීමෙන් පසු ඊට අදාළ තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත්කෙරුණි.
ඒ, ඥානසාර හිමියන්ට පොදු සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් තීරණය නීතිය ඉදිරියේ බලරහිත බවට නියෝග කරමිනි.
කෙසේවෙතත් පොදු සමාව බලරහිත වුවත් අධිකරණය හමුවේ පෙනී නොසිටි පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා නීතිපතිවරයා අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබූ අතර එම මෝසම ඉකුත් 29 වැනිදා කැඳවනු ලැබීය.
නොතීසි නිකුත් වී සිටි විත්තිකාර පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එදිනත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඒ අනුව විත්තිකාර හිමිනම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් අධිකරණය විවෘත වරෙන්තු නිකුත් කළේය.
උන්වහන්සේගේ විදෙස් ගමන්ද තහනම් කළ අධිකරණය අදාළ වරෙන්තුව පොලිස්පතිවරයා මාර්ගයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඔක්තෝබර් පළමුවැනිදා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටත් නියෝග කෙරුණි.
අදාළ වරෙන්තුව ප්‍රකාරව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් පිරිසක් විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන තිබුණේ ඊයේ (03) රාත්‍රියේදී ය.
ඒ, උන්වහන්සේ කළුතර, තීනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයක වැඩ සිටියදී ය.
අත්අඩංගුවට ගත් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට රැගෙන එනු ලැබීය.
විමර්ශන නිලධාරීන් භාරයේ සිටි උන්වහන්සේ අද දහවල් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණි.
එහිදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් දැනුම්දී ඇත්තේ සැකකාර ඥානසාර හිමියන් අධිකරණය විසින් නිකුත් කරනු ලැබූ වරෙන්තුවලට අනුව අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන බවය.
උන්වහන්සේට අභියාචනාධිකරණයෙන්, කොළඹ මහාධිකරණයෙන් සහ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් වරෙන්තු නිකුත් කර තිබෙන බවත් පොලිසිය එහිදී සඳහන් කර සිටියේය.
එම අවස්ථාවේ විත්තිකාර ඥානසාර හිමියන් වෙනුවෙන් නීතිඥ පසන් කරුණාරත්න මහතා සමඟ පෙනී සිටි නීතීඥ ඉරේෂ් සෙනෙවිරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ සිය සේවාදායක හිමියන් මානසික වශයෙන් කඩාවැටීමකට ලක්වී සිටි නිසා උන්වහන්සේ ආරණ්‍ය සේනාසනයකට ගොස් එහි රැඳී සිටි බවය.
උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දෙන ලෙස පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවෙන්ද සඳහන් කර තිබූ බව පෙන්වා දුන් නීතිඥවරයා ඒ අනුව බන්ධනාගාරය තුළදී උන්වහන්සේට විශේෂ ආරක්ෂාවක් සලසා දීමට අවශ්‍ය නියෝග නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා විත්තිකාර ඥානසාර හිමියන්ව රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස නියම කළේය.
ඒ අනුව ඥානසාර හිමියන්ව අභියාචනාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා හෙට දින එම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කෙරුණු අතර කොළඹ මහාධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා අනිද්දා කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
ඊට අමතරව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින වරෙන්තුව සඳහා ලබන බදාදා උන්වහන්සේව එම අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙස මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
එමෙන්ම රක්ෂිත බන්ධනාගාරගත කරන ලද ඥානසාර හිමියන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී බන්ධනාගාර නිලධාරීන්ට නියම කළේය.
