දේශීය පුවත්
අමාත්‍ය ආනන්ද විජේපාල ගැන ව්‍යාජ පුවත් සංසරණය වීම සම්බන්ධව විමර්ශනයක්
මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ලෙස හැගෙන පරිදි ඡායාරූප හා ව්‍යාජ ප්රවෘත්ති සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මුලස්ථානය පවසනවා.
පසුගියදා විදෙස් ගතව සැඟව සිටි ශ්‍රී ලංකාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම හා සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම පිළිබඳව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් කිහිප දෙනෙක් ශ්‍රී ලංකා පොලීසිය හා ඉන්දුනීසියානු පොලීසිය ඒකාබද්ධව සිදුකරන ලද මෙහෙයුමක් මඟින් පසුගියදා ඉන්දුනීසියාවේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.
එම අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයින් පිරිස 2025.08.30 වන දින ශ්‍රී ලංකාවට රැගෙන එන ලද අතර එම අවස්ථාවේ දී අදාළ මෙහෙයුමට සක්‍රීයව දායක වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන් කණ්ඩායම ද දිවයිනට පැමිණියා.
තවද මෙම මෙහෙයුමට සම්බන්ධ වූ ඉන්දුනීසියානු පොලීසියේ නිලධාරීන් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ස්තූතිය පළ කිරීමට ද ශ්‍රී ලංකා පොලීසියේ මේ සඳහා දායක වූ නිලධාරීන් ඇගයීම සඳහා ද ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා සහ පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයට පැමිණියා.
මෙම අවස්ථාවට අදාළ වන ලෙස ව්‍යාජව සකස් කරන ලද අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ඡායාරූපයක් සහ අපහාසාත්මක අයුරින් හා ද්වේශ සහගත ලෙස සකස් කරන ලද ප්රවෘත්ති මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන බව නිරීක්ෂණය වී ඇති බව පොලීසිය දැනුම් දී තිබෙනවා.
මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් ද්වේශ සහගත හා අපහාසාත්මක ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ප්රවෘත්ති හා ඡායාරූප පල කිරීම සම්බන්ධව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යවරයාගේ. පෞද්ගලික ලේකම්වරයා විසින් 2025.08.31 වන දින දින පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත පැමිණිල්ලක් සිදු කරමින් මෙලෙස කටයුතු සිදුකළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලීමක් කර ඇති බව සඳහන්.
මේ අනුව පොලිස්පතිවරයා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම ව්‍යාජ ප්රවෘත්ති පිළිබඳව විමර්ශන ආරම්භ කර අදාළ පුද්ගලයින්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබෙනවා.
