දේශීය පුවත්
ආදායමට වඩා වත්කම් සෙවූ දේශපාලනඥයින් 100ක් ගැන පරීක්ෂණ අරඹයි
ආදායමට වඩා වත්කම් උපයාගෙන ඇති දේශපාලනඥයන් 100ක පමණ පිරිසක් පිළිබඳව අල්ලස් කොමිසම සහ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
දේශපාලනයට පිවිසෙන විට කිසිඳු සැලකිය යුතු මුදලක් නොමැතිව සිටි මෙම දේශපාලනඥයන් හිටි හැටියේම ධනවතුන්ව සිටීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් මෙම විමර්ශන අරඹා ඇති බව සඳහන්.
මෙහිදී අනාවරණය වී ඇත්තේ විමර්ශනයට ලක්වන ඇතැම් දේශපාලනඥයන්ගේ වත්කම් ඔවුන්ගේ සමීපතමයින්ගේ නම්වලින් බවයි.
එම වත්කම් නාමිකව සමීපතමයින්ගේ නම්වලින් පැවතියත් ඒවා පාලනය කරනු ලබන්නේ අදාළ දේශපාලනඥයන් විසින් බව දැනට සිදුකරන ලද මුලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබෙනවා.
එම කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම දේශපාලනඥයන් අතර පසුගිය සමයේ පාර්ලිමේන්තුවේ, පළාත් සභාවේ, මැති ඇමති ධූර දැරූ අය, ආණ්ඩුකාරවරුන්, පළාත් පාලන ආයතන රැසක සභාපතිවරුන් ද සිටින බවයි.
