සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

පාසල් සිසුන්ට ඊ-සිගරට් අලෙවි කළ මව සහ පුතාට ලක්ෂ 2.8ක දඩයක්

පාසල් සිසුන් ඉලක්ක කරගෙන ඊ-සිගරට් අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ මවක් සහ ඇගේ දාහත් හැවිරිදි පුත්‍රයෙකුට රුපියල් දෙලක්ෂ අසූදහසක දඩයක් නියම කර තිබේ.

කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ, සැකකරුවන් දෙදෙනා චෝදනාවලට වරද පිළිගත් අනතුරුවය.

දොරටියාව පොලීසියට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමකදී, ග්‍රීන්ගාඩ්න් වත්ත නිවාස යෝජනා ක්‍රමයේ පිහිටි ඔවුන්ගේ නිවස පරීක්ෂා කිරීමේදී විදෙස් රටකින් රැගෙන ආ ඊ-සිගරට් 98ක් සහ සාමාන්‍ය සිගරට් 1800ක් සොයා ගෙන තිබුණි.

පොලීසිය සඳහන් කළේ මැදපෙරදිග සේවය කර පැමිණි සැකකාරිය තම පුත්‍රයා  (කුරුණෑගල ප්‍රධාන පාසලක උසස් අධ්‍යාපනය නිමකළ) යොදාගනිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවය.

ඇය  ඊ-සිගරට් එකකින් එක් දුම් වාරයක් සඳහා රුපියල් 500ක මුදලක් ලබා ගෙන, තම පුත්‍රයා හරහා පාසල් සිසුන්ව ඊට පොළඹවාගෙන තිබුණි.

අධිකරණය විසින් මවට සහ පුත්‍රයාට තනි අයෙකුට රුපියල් එක් ලක්ෂ හතළිස් දහස බැගින්, දෙදෙනාට රුපියල් දෙලක්ෂ අසූදහසක දඩ නියම කළාය.

ඊ-සිගරට් සම්බන්ධ නඩුවක් කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වූ පළමු අවස්ථාව මෙය වන අතර, මෙම වැටලීම දොරටියාව පොලිස් ස්ථානාධිපතිවරයාගේ මෙහෙයවීමෙන් සිදු කර තිබුණි.

Tags