රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන අතරතුර, අරණ විධානගමගේ හෙවත් ‘මීගස් ආරේ කජ්ජා’ 2012 මැයි මස ඝාතනය සිදුවූ අවධියේදී ආරක්ෂක අමාත්‍යාංශයේ සේවය කළ බව හෙළි වී ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන් කජ්ජාගේ බිරිඳ සඳහන් කර ඇත්තේ, ඝාතනය සිදුවීමට පෙර තාජුඩීන්ගේ රථය පසුපස මෝටර් රථයකින් ලුහුබැඳ ගිය පිරිස අතර තම සැමියාද සිටි බවයි. එහෙත්, ඔහුගේ ඥාතීන් එම ප්‍රකාශය අභියෝගයට ලක් කරමින් විවිධ කරුණු ඉදිරිපත් කර තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට කජ්ජාගේ දුරකථන දත්ත, ගමන් පථ හා රැඳී සිටි ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන කරමින් පවතී.
මේ අතර, ඝාතනයට ගිනිඅවි ලබා දුන් බවට චෝදනා එල්ල වී ඇති පොදුජන පෙරමුණේ හිටපු ප්‍රාදේශීය සභා අපේක්ෂක සම්පත් මනම්පේරි දින 90ක රැඳවුම් නියෝගයකට යටත් කර තිබේ. ඔහු බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් පවතී.
අදාළ කොට්ඨාසය අධිකරණයට ඉදිරිපත් කළ ‘බී’ වාර්තාවේ සඳහන් වන්නේ, සැකකරුගෙන් තාජුඩීන් ඝාතනයට අමතරව මිද්දෙණිය ප්‍රදේශයේ ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය ජාලයක් පිළිබඳවද විමර්ශන සිදුකරන බවයි.
ඒ අනුව, ඔහුව තවදුරටත් පොලිස් භාරයේ රඳවා තබාගෙන විමර්ශන දිගටම කරගෙන යාමට අධිකරණයෙන් අවසර ඉල්ලා ඇත.
