දේශීය පුවත්
ජනපතිට, ඇගමැතිට, අමාත්‍ය මණ්ඩලයට නොතීසි
ශ්‍රී ලංකාවේ පුරවැසියන් සඳහා ඩිජිටල් හැඳුනුම්පත් නිකුත් කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ඉන්දියාව සමඟ ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම බලරහිත කිරීමේ තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා හිටපු අමාත්‍ය විමල් විරවංශ මහතා ඇතුළු පාර්ශව විසින් ඉදිරිපත් කර තිබෙන පෙත්සම් දෙකක් සලසා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (27) නියම කළා.
මෙම පෙත්සම් අද (27) අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනි වික්‍රමසිංහ සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.
මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටින අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි ලැබී නොමැති බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියා.
පෙත්සම්කාර පාර්ශවයක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කණිෂ්ක විතාරණ මහතා පැවසුවේ මෙම නඩුව සලකා බැලීම සඳහා කඩිනම් දිනයක් ලබා දෙන ලෙසයි.
මේ අනුව වගඋත්තරකරුවන්ට යළි නොතීසි නිකුත් කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දී තිබෙනවා.
ඉන්පසුව මෙම පෙත්සම සලකා බැලීම සඳහා ඔක්තෝබර් මස 17 වනදා කැඳවන ලෙසද විනිසුරු මඩුල්ල නියම කළා.
මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය ඇතුළු 31 දෙනෙකු නම් කරනු ලැබ සිටිනවා.
පෙත්සම්කරුවන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියාව සමඟ මෙරට පුරවැසියන්ගේ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට අදාළ ව්‍යාපෘතියක් සම්බන්ධව අවබෝධතා ගිවිසුමකට එළැඹ ඇති බවයි.
ඊට අදාළව පසුගිය ජනවාරි මස 27 සහ ජුනි මස 02 වනදා අමාත්‍ය මණ්ඩල තීන්දු දෙකක් ලබාගෙන තිබෙන බවත් මහජනයා හෝ පාර්ලිමේන්තු දැනුවත් කිරීමකින් තොරව මෙම අමාත්‍ය මණ්ඩල තීරණය ගෙන තිබෙන බවත් පෙත්සමේ සඳහන් වනවා.
අදාළ කටයුතුවලට 2022 වසරේ ශ්‍රී ලංකා රජය විසින් ඉන්දියානු රජය සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹ තිබෙන බවත් එම අවබෝධතා ගිවිසුම සංශෝධනය කිරීම සඳහා මෙම අමාත්‍ය මණ්ඩල තීන්දු දෙක ලබාගෙන තිබෙන බවත් පෙත්සමින් පෙන්වා දී තිබෙනවා.
මෙම අවබෝධතා ගිවිසුම හරහා ශ්‍රී ලංකා පුරවැසියන්ගේ ජීව දත්ත ඇතුළු කරුණු ඉන්දියාව අතට පත්වන බවද පෙත්සම්කරු සිය පෙත්සමේ සඳහන් කර ඇති බව සඳහන්.
පෙත්සම්කරු චෝදනා කරන්නේ මේ හරහා ඉන්දියාවට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමට අවකාශ සැලසෙන බවයි.
දේශීය වශයෙන් ඩිජිටල් හැඳුනුම්පතක් නිකුත් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් මෙරට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මඟින් සකස් කරමින් පවතිද්දී මෙම කටයුත්ත රජයේ සම්පාදන ක්‍රියාවලියට පටහැනිව ඉන්දියානු සමගාමක් වෙත පැවරීමට රජය විසින් ගනු ලබන තීරණය අත්නෝමතික මෙන්ම නීතියට පටහැනි බවද පෙත්සමෙන් පෙන්වා දී තිබෙනවා.
පෙත්සම්කරු සඳහන් කරන්නේ මේ තුළින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට, ජාතික ආර්ථිකයට සහ ජාතික ආරක්ෂාවට මෙන්ම ස්වාධීනත්වයට මැදිහත් වීමට විදේශීය රාජ්‍යයකට අවස්ථාව සැලසෙන බවත් ඉන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මුලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවත්ය.
මේ අනුව ඉන්දියාව සමඟ ඇති කරගෙන මෙම තිබෙන අවබෝධතා ගිවිසුම සහ ඊට අදාළ කැබිනට් තීන්දු බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් මෙම හැඳුනුම්පත් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
