සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

නූතනත්වයට ගැලපෙන දියුණු රාජ්‍ය සේවයක් බිහිකිරීම අපේ අපේක්ෂාව – ජනපති

රාජ්‍ය නිලධාරීන් දැනට භාවිතා කරන වාහන වස 20 – 25 තරම් පැරණි ඒවා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ මොනරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මොනරාගල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධීකරණ කමිටු රැස්වීම අමතමින්.

ඒවායේ ගමන් කළ නොහැකි නිසා අලුතින් වාහන 2000ක් මිලදී ගෙන අත්‍යාවශ්‍ය තැන්වලට එම වාහන ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා මෙහිදී කියා සිටියා.

“අපේ රාජ්‍ය දේහයම සැලකිය යුතු ප්‍රමාණයකින් බිඳවැටිලා, නටඹුන් වෙලා තියෙන්නෙ. ඔබතුමාලාගෙ වාහන ගත්තොත් එහෙම මං හිතන්නෙ අවුරුදු 20 – 25 කට වඩා පරණ වාහනනෙ තියෙන්නෙ, යන්න බෑ ඕවාගෙ. ඒ නිසා අපි තීරණයක් ගත්තා වාහන 2000ක් විතර ගෙනල්ලා රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය තැන්වලට වාහන ටික ලබාදෙන්න. ඊටපස්සෙ අර අත්‍යාවශ්‍ය මැද ලේයර් එක බඳවාගන්න ඕනෙ. මං කියන්නෙ රාජ්‍ය සේවයේ පහළ වැඩියි. ඊටපස්සෙ ඇත්තටම සමහර රාජ්‍ය ආයතන තියාගෙන යනවාද, නැද්ද කියලා කල්පනා කරන්න ඕනෙ. වියවුලක් වෙලා තියෙන්නෙ මේ රාජ්‍ය සේවය. ඒ නිසා අපි ආයතන ගණනාවක් වහන්න තීරණය කරලා තියෙන්නෙ. පහුගිය කැබිනට් මණ්ඩලයෙදීත් අපි සැලකිය යුතු ආයතන ප්‍රමාණයක් වහන්න තීරණය කළා. තව තෝරාගත්තු ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා වහන්න ඕනෙ. සමහර ආයතන තියෙනවා ඒකාබද්ධ කරන්න ඕනෙ. සමහර ආයතන තියෙනවා ගොඩනගපු අරමුණ දැන් වෙනස් කරන්න ඕනෙ. රාජ්‍ය සේවය නෙවෙයි බර. සේවය ලබාදීම සඳහා අපි දරණ පිරිවැය වැඩිවෙලා තියෙනවා. මේ ඔක්කොම පැක් කරලා නූතනත්වයට ගැලපෙන දියුණු රාජ්‍ය සේවයක් බිහිකිරීම පිළිබඳ අපේක්ෂාවෙන් ඉන්නෙ. බඳවාගන්න දැනටමත් අපි 62000 කට අනුමැතිය දීලා තියෙනවා. තව තියෙනවා මං හිතන්නෙ අඩුම මේ අවුරුද්ද අවසන් වෙනකොට අපි ලක්ෂයක්වත් අලුතින් රාජ්‍ය සේවයට බඳවාගැනීම සඳහා අපි අනුමැතිය දෙන්න වේවි. සමහර අය කියනවානෙ බල්ක් පිටින් ගන්න කියලා, අපි එහෙම ගන්නෙ නෑ. ඒ දරුවොත් අපරාදෙ, රජයට ඇති සේවාවක් වෙලාත් නැහැ”

Tags