දේශීය පුවත්
ශ්‍රී ලංකා භූමිය ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් ලෙස භාවිතා කිරීමට ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසයි
ඉන්දියාවේ ආරක්ෂාවට හානිකර ලෙස ශ්‍රී ලංකා භූමිය භාවිතා කිරීමට කිසිවෙකුටත් ඉඩ නොදෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය ප්‍රකාශ කර ඇත. ඇය මේ බව සඳහන් කළේ, තම ඉන්දීය නිල සංචාරය අතරතුර ඊයේ (16) දිනයේදී දිල්ලි හින්දු විද්‍යාලයේ සංචාරය කළ අවස්ථාවේදීය.
අගමැතිනිය එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සම්ප්‍රදාය, අගනාකම් සහ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ අසල්වැසි රටවල් වන අතර, එම සබඳතාව පවුල් සබඳතාවක් මෙන් පවත්වාගෙන යා යුතු බවයි. ඇය තව දුරටත් කියාසිටියේ, “ශ්‍රී ලංකාව අඛණ්ඩව එකම ස්ථාවරයක සිටින රටක්. අපේ භූමිය කිසිවිටෙකම ඉන්දියාවේ ආරක්ෂාවට තර්ජනයක් වන ලෙස භාවිත කිරීමට අපි ඉඩ නොදෙමු. එය අපේ ස්ථාවර ප්‍රතිපත්තියක්” යනුවෙනි.
ඉන්දියාව ශ්‍රී ලංකාවට ආර්ථික අර්බුදය අතරතුර ලබාදුන් ණය පහසුකම්, ඉන්ධන සහ අත්‍යවශ්‍ය සැපයුම් ගැන ඇය ස්තුතිය පළ කරමින් එය “රාජ්‍යතාන්ත්‍රික උදව්වක් පමණක් නොව සැබෑ මිතුරන්ගේ සහායක්” බවද අවධාරණය කළාය. මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය අද (17) ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී ද්වීපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට නියමිත වන අතර, අද පස්වරුවේ NDTV නාලිකාව සංවිධානය කරන 2025 NDTV ලෝක සමුළුව ද ඇය අමතන බව වාර්තා වේ.
ඉන්දියාව සහ විදෙස් නායකයින් රැසක්, ඇතුළු හිටපු බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනක් සහ හිටපු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබොට්, එම සමුළුවට සහභාගී වීමට නියමිතය.
