සොයන්න
උණුසුම් පුවත්

දේශීය පුවත්

දිස්ත්‍රික්ක තුනක පුද්ගලයින් 500කට අධික පිරිසක් අධික වැසි හේතුවෙන් පීඩාවට

පවතින අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක පුද්ගලයින් 500කට අධික පිරිසක් බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය පවසයි. අදාළ අයහපත් කාලගුණයෙන් සිදුවූ අනතුරුවලින් නිවාස 101කට අර්ධ හානි සිදුව ඇති අතර මේ වන විට පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

ගත වූ පැය 12ක කාලය තුළ ගාල්ල දිස්ත්‍රික්කයට බලපෑ ක්ෂණික ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 73 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.

මේ අතර, අධික වර්ෂාපතනය හේතුවෙන් දිවයින පුරා ඇති ගංගා රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව ද සටහන් කරයි. එහි ජල විද්‍යා හා ආපදා කළමණාකරණ අංශයේ අධ්‍යක්ෂ එල්.එස්. සූරිය බණ්ඩාර මහතා පැවසුවේ කැළණි, කළු සහ අත්තනගලු ඔය ගංගාවල ද ජල මට්ටම් ඉහළ යමින් පවතින බවය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ අද උදෑසන 6.00ට අවසන් වූ පැය 12ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය කඩුගන්නාව ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි. එහි මිලිමීටර් 169ක වර්ෂාපතනයක් සටහන් වූ අතර, යටිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට මිලිමීටර් 158ක් සහ රිදීගම කොට්ඨාසයට මිලිමීටර් 145ක් පමණ වැසි ලැබී ඇත.

ඒත් සමඟම, අද දිනයේ ද බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යාඥ පබෝදිනි කරුණාපාල මහත්මිය අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් පවසයි.

Tags